පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු වෙළෙන්දා නොබෝ කලකින්ම භෝග සම්පත්වල මහත් බවට, විශාල බවට පත්වෙනවා. කවර කාරණා තුනකින්ද? පින්වත් මහණෙනි, මෙහි වෙළෙන්දා ඇස් ඇති කෙනෙක් වෙනවා. වීරියවන්ත වූ දක්ෂ කෙනෙක් වෙනවා. හොඳ ඇසුරකින් යුතු වූ කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, කොහොමද වෙළෙන්දා ඇස් ඇති කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි වෙළෙන්දා විකුණන්න පුළුවන් බඩුවල මිළ ගැන දන්නවා. ‘මේ බඩු මේ ගණනට තමයි මිල දී ගත්තේ. මේ විදිහට විකුණන කොට මෙච්චර මුදලක් වෙනවා. මෙච්චර ලාභයක් තියෙනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට වෙළෙන්දා ඇස් ඇති කෙනෙක් වෙනවා. පින්වත් මහණෙනි, වෙළෙන්දා කොහොමද වීරියවන්ත වූ දක්ෂ කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි වෙළෙන්දා බඩු මිළ දී ගන්නත්, විකුණන්නත් දක්ෂ කෙනෙක් වෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට වෙළෙන්දා වීරියවන්ත වූ දක්ෂ කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, වෙළෙන්දා කොහොමද හොඳ ඇසුරකින් යුතු වූ කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහිලා ආඪ්‍ය වූ මහා ධන සම්පත් ඇති, මහා භෝග සම්පත් ඇති යම් ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා සිටිනවා නම්, ඔවුන් අර වෙළෙන්දා ගැන මේ විදිහට දැනගන්නවා. ‘මේ භවත් වෙළෙන්දා දියුණුව දකින ඇස් ඇති කෙනෙක්. වීරියවන්ත දක්ෂයෙක්. අඹුදරුවන්ව පෝෂණය කරන්නට පුළුවන් කෙනෙක්. අපටත් කලින් කලට උදව් උපකාර ලබාගන්නට පුළුවන් කෙනෙක්’ කියලා. ඊට පස්සේ ඔවුන් ඒ වෙළෙන්දාට භෝගවලින් සළකනවා. ‘යහළු වෙළෙන්ද, මෙයින් භෝග සම්පත් රැගෙන ගිහින් අඹුදරුවන්ව පෝෂණය කරන්න. කලින් කලට අපටත් උදපදව් කරන්න’ කියලා. පින්වත් මහණෙනි, ඔය අයුරින් තමයි වෙළෙන්දා හොඳ ඇසුරකින් යුතු කෙනෙක් වෙන්නේ. පින්වත් මහණෙනි, මෙම කරුණු තුනෙන් සමන්විත වූ වෙළෙන්දා නොබෝ කලකින්ම භෝග සම්පත්වලින් මහත් බවටත්, පිරුණු බවටත් පත් වෙනවා.
අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුතු භික්ෂුව නොබෝ කලකින්ම කුසල් දහම්වල මහත් බවටත් පිරුණු බවටත් පත්වෙනවා. කවර කාරණා තුනකින්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ඇස් ඇති කෙනෙක් වෙනවා. වීරියවන්ත වූ දක්ෂ කෙනෙක් වෙනවා. හොඳ ඇසුරකින් යුතු වූ කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුව ඇස් ඇති කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘මේ තමයි දුක’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා ….(පෙ)…. ‘මේ තමයි දුක් නැති කිරීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියල ඇති සැටියෙන්ම දැනගන්නවා. පින්වත් මහණෙනි, මේ විදිහට භික්ෂුව ඇස් ඇති කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, භික්ෂුව කොහොමද වීරියවන්ත දක්ෂ කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල්දහම් උපදවා ගැනීම පිණිසත් පටන්ගත් වීරියෙන් යුතුව වාසය කරනවා. කුසල්දහම්වල ශක්තිමත්ව, දැඩි වීරියෙන් යුතුව, ඒ වීරිය අත්හරින්නෙ නැතුව වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට භික්ෂුව වීරියවන්ත වූ දක්ෂ කෙනෙක් වෙනවා.
පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුව හොඳ ඇසුරකින් යුතු කෙනෙක් වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව බහුශ්‍රැත වූ, ධර්මයේ දක්ෂ බවට පැමිණි, ධර්මධර, විනයධර, මාතෘකාධර යම් භික්ෂූන් සිටිත් නම්, ඒ භික්ෂූන් ළඟට කලින් කලට ගිහින් ‘ස්වාමීනී, මේක කොහොමද? මේකෙ අර්ථය කුමක්ද?’ කියලා විමසනවා. ප්‍රශ්න කරනවා. ඉතින් ඔහුට ඒ ආයුෂ්මතුන් වහන්සේලා අප්‍රකට වූ ධර්මය විවර කර දෙනවා. වැසී තිබුණු දේ පැහැදිලි කර පෙන්වා දෙනවා. අනේකවිධ වූ සැකසංකා ඇති කරන දහම් කරුණු ගැන ඇති සැක දුරු කර දෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට භික්ෂුව හොඳ ඇසුරකින් යුතු කෙනෙක් වෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා තුනෙන් යුතු භික්ෂුව නොබෝ කලකින්ම කුසල් දහම්වල මහත් බවට, පිරුණු බවටත් පත්වෙනවා.
පළමුවෙනි බණවර නිමා විය.
දෙවෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M