පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් වැරදි සහගත වූ කාය කර්ම රැස් කරනවා. වැරදි සහගත වූ වචී කර්ම රැස් කරනවා. වැරදි සහගත වූ මනෝ කර්ම රැස් කරනවා. ඔහු වැරදි සහගත වූ කාය කර්ම රැස් කරලා, වැරදි සහගත වූ වචී කර්ම රැස් කරලා, වැරදි සහගත වූ මනෝ කර්ම රැස් කරලා, දුක් සහිත ලෝකයක උපදිනවා. ඒ විදිහට දුක් සහිත ලෝකයක ඉපදුනු ඔහු දුක් සහිත ස්පර්ශයන් ලබනවා. මේ විදිහට දුක් සහිත ස්පර්ශයෙන් පහස ලබන්නා වූ ඔහු ඒකාන්ත දුක් ඇති දුක්ඛිත වේදනා විඳිනවා. හරියට නිරයේ උපන් සත්වයන් වගේ.
පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් දොස් රහිත වූ කාය කර්ම රැස් කරනවා. දොස් රහිත වූ වචී කර්ම රැස් කරනවා. දොස් රහිත වූ මනෝ කර්ම රැස් කරනවා. ඔහු දොස් රහිත වූ කාය කර්ම රැස් කරලා, දොස් රහිත වූ වචී කර්ම රැස් කරලා, දොස් රහිත වූ මනෝ කර්ම රැස් කරලා, සැප සහිත ලෝකයක උපදිනවා. ඒ විදිහට සැප සහිත ලෝකයක ඉපදුනු ඔහු සැප සහිත ස්පර්ශයන් ලබනවා. මේ විදිහට සැප සහිත ස්පර්ශයෙන් පහස ලබන්නා වූ ඔහු ඒකාන්ත සැප ඇති සුඛිත වේදනා විඳිනවා. හරියට සුභකිණ්ණ දෙවියන් වගේ.
පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් වැරදි සහගත වූත්, දොස් රහිත වූත් කාය කර්ම රැස් කරනවා. වැරදි සහගත වූත්, දොස් රහිත වූත් වචී කර්ම රැස් කරනවා. වැරදි සහගත වූත්, දොස් රහිත වූත් මනෝ කර්ම රැස් කරනවා. ඔහු වැරදි සහගත වූත්, දොස් රහිත වූත් කාය කර්ම රැස් කරලා, වැරදි සහගත වූත්, දොස් රහිත වූත් වචී කර්ම රැස් කරලා, වැරදි සහගත වූත්, දොස් රහිත වූත් මනෝ කර්ම රැස් කරලා, දුක් සහිත වූත් සැප සහිත වූත් ලෝකයක උපදිනවා. ඒ විදිහට දුක් සහිත වූත් සැප සහිත වූත් ලෝකයක ඉපදුනු ඔහු දුක් සහිත වූත් සැප සහිත වූ ස්පර්ශයන්ගෙන් පහස ලබනවා. මේ විදිහට දුක් සහිත වූත් සැප සහිත වූත් ස්පර්ශයෙන් පහස ලබන්නා වූ ඔහු සැප දුක් මිශ්‍ර වෙච්ච දුක් සහිත වූත් සැප සහිත වූත් විඳීම් විඳිනවා. හරියට මනුෂ්‍යයන් වගේ, ඇතැම් දෙවිවරුන් වගේ, ඇතැම් විනිපාතික සත්වයන් වගේ. පින්වත් මහණෙනි, මේ තමයි ලෝකයේ දකින්නට ලැබෙන පුද්ගලයන් තුන් දෙනා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M