සැවැත් නුවරදී………….
පින්වත් මහණෙනි, මේ දේවදූතයන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා කවුද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් කයෙන් දුසිරිතෙහි හැසිරෙනවා, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙනවා, මනසින් දුසිරිතෙහි හැසිරෙනවා, ඔහු කයින් දුසිරිතෙහි හැසිරිලා, වචනයෙන් දුසිරිතෙහි හැසිරිලා, මනසින් දුසිරිතෙහි හැසිරිලා කය බිඳී මරණින් පසු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, යමපල්ලන් ඇවිදින් ඔහුව අත්පාවලින් අල්ලාගෙන රැගෙන ගොස් යම රජුට පෙන්වනවා. ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා මවට නොසැලකූ කෙනෙක්. පියාට නොසැලකූ කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට නොසැලකූ කෙනෙක්. බ්‍රාහ්මණයන් හට නොසැලකූ කෙනෙක්. පවුලේ වැඩිමහළු අයට නොසැලකූ කෙනෙක්. දේවයන් වහන්ස, මොහුට දඬුවම් පණවනු මැනැව.’
පින්වත් මහණෙනි, ඉතින් යම රජු ඔහුගෙන් පළවෙනි දේවදූතයා ගැන කරුණු අහනවා. කරුණු මතුකරනවා. කරුණු පවසනවා. ‘එම්බා පුරුෂය, ඔබ මිනිසුන් අතර පහළ වී සිටින පළමු වෙනි දේවදූතයා දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘දැක්කේ නෑ ස්වාමීනී’
පින්වත් මහණෙනි, එතකොට යම රජු ඔහුට මේ විදිහට කියනවා. ‘එම්බා පුරුෂය, මනුෂ්‍යයින් අතර ඉන්න උපතින් අවුරුදු අසූවක් වයසට ගිය, අනූවක් වයසට ගිය, සියයක් වයසට ගිය, දිරා ගිය වහළක් වැනි වූ, වකුටු වී ගිය, හැරමිටියක් පිහිට කරගෙන ඉන්න, වෙව්ලමින් ඇවිදින, ජරාව නිසාම ආතුර වූ, යොවුන් බව ඉක්මවා ගිය, කැඩුන දත් ඇති, ඉදී ගිය කෙස් ඇති, ගැල වී ගිය කෙස් ඇති, මුඩු හිස පෑදී ඇති, හටගත් රැළි ඇති, මතු වූ තල කැළැල් ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඔබ දැක්කේ නැද්ද?’ එතකොට ඔහු මෙහෙම කියනවා. ‘දැක්කා ස්වාමීනී.’
පින්වත් මහණෙනි, යම රජු ඔහුට මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, මහළු වෙලා සිටිය ඔබට නුවණැති කෙනෙක් හැටියට මේ විදිහට හිතුනේ නැද්ද? ‘මාත් ජරාවට පත්වීම ස්වභාවය කොට ගෙන ඉන්නේ. ජරාව ඉක්මවා ගිහින් නෑ. ඉතින් මාත් කයෙනුත්, වචනයෙනුත්, සිතිනුත් යහපත් දේවල් කරනවා නම් හොඳයි නේද?’ කියලා.” එතකොට ඔහු මේ විදිහට කියනවා. “ස්වාමීනී, පින් කරගන්නට බැරිව ගියා. ස්වාමීනී, එයට වෙලාවක් නැතුව ගියා.”
පින්වත් මහණෙනි, යම රජු මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, එතකොට ප්‍රමාද වෙච්ච නිසා කයෙන්, වචනයෙන්, මනසින් පින් කරගත්තේ නෑනෙ. එම්බා පුරුෂය, එහෙනම් ප්‍රමාදයට පත් වූ කෙනෙකුට යමක් කරනවාද, ඒ දේ තමයි ඔබට කරන්න තියෙන්නේ. ඒ මේ පාප කර්මය ඔබේ මව කරපු දෙයකුත් නොවෙයි. පියා කරපු දෙයකුත් නොවෙයි. සොහොයුරා කරපු දෙයකුත් නොවෙයි. සොහොයුරිය කරපු දෙයකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දෙයකුත් නොවෙයි. නෑදෑයන්, ලේ ඤාතීන් කරපු දෙයකුත් නෙවෙයි. දෙවියන් කරපු දෙයකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරපු දෙයකුත් නොවෙයි. එසේ නමුත් ඔබ විසින්මයි මේ පාප කර්මය කරගෙන තියෙන්නේ. ඔබම මේ කර්මයේ විපාකය විඳවන එකයි ඇත්තේ.”
පින්වත් මහණෙනි, යමරජු ඔහුගෙන් මේ විදිහට පළමු දේවදූතයා ගැන ප්‍රශ්න කරලා විමසා බලා, දෙවෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කරනවා. විමසනවා. කරුණු විචාරණවා. “එම්බා පුරුෂය, මිනිසුන් අතර පහළ වූ දෙවෙනි දේවදූතයා ඔබ දැක්කේ නැද්ද?” එතකොට ඔහු මෙහෙම කියනවා. “දැක්කේ නෑ ස්වාමීනී” පින්වත් මහණෙනි, යමරජු ඔහුගෙන් මේ විදිහට අහනවා. “එම්බා පුරුෂය, මිනිසුන් අතර ලෙඩවෙච්ච, දුකට පත්වෙච්ච, බොහෝ සේ ගිලන් වෙච්ච, තමන්ගේම මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්න, අනුන් විසින් නැගිට්ටවන, අනුන් විසින්ම ඇඳෙහි දිගා කරවන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ඔබ දැක්කේ නැද්ද?” ඔහු මේ විදිහට කියනවා. “දැක්කා ස්වාමීනී.”
පින්වත් මහණෙනි, යමරජු ඔහුට මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, මහළු වෙලා සිටිය ඔබට නුවණැති කෙනෙක් හැටියට මේ විදිහට හිතුනේ නැද්ද? ‘මාත් රෝගී වන බවට පත්වීම ස්වභාවය කොට ගෙන ඉන්නේ. රෝගී වන බව ඉක්මවා ගිහින් නෑ. ඉතින් මාත් කයෙනුත්, වචනයෙනුත්, සිතිනුත් යහපත් දේවල් කරනවා නම් හොඳයි නේද?’ කියලා” එතකොට ඔහු මේ විදිහට කියනවා. “ස්වාමීනී, පින් කරගන්නට බැරිව ගියා. ස්වාමීනී, එයට වෙලාවක් නැතුව ගියා.”
පින්වත් මහණෙනි, යම රජු මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, එතකොට ප්‍රමාද වෙච්ච නිසා කයෙන්, වචනයෙන්, මනසින් පින් කරගත්තේ නෑනෙ. එම්බා පුරුෂය, එහෙනම් ප්‍රමාදයට පත් වූ කෙනෙකුට යමක් කරනවාද, ඒ දේ තමයි ඔබට කරන්න තියෙන්නේ. ඒ මේ පාප කර්මය ඔබේ මව කරපු දෙයකුත් නොවෙයි. පියා කරපු දෙයකුත් නොවෙයි. සොහොයුරා කරපු දෙයකුත් නොවෙයි. සොහොයුරිය කරපු දෙයකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දෙයකුත් නොවෙයි. නෑදෑයන්, ලේ ඤාතීන් කරපු දෙයකුත් නෙවෙයි. දෙවියන් කරපු දෙයකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරපු දෙයකුත් නොවෙයි. එසේ නමුත් ඔබ විසින්මයි මේ පාප කර්මය කරගෙන තියෙන්නේ. ඔබම මේ කර්මයේ විපාකය විඳවන එකයි ඇත්තේ.”
පින්වත් මහණෙනි, යමරජු ඔහුගෙන් මේ විදිහට දෙවෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කරලා විමසා බලා, තුන්වෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කරනවා. විමසනවා. කරුණු විචාරණවා. “එම්බා පුරුෂය, මිනිසුන් අතර පහළ වූ තුන්වෙනි දේවදූතයා ඔබ දැක්කේ නැද්ද?” එතකොට ඔහු මෙහෙම කියනවා. “දැක්කේ නෑ ස්වාමීනී.”
පින්වත් මහණෙනි, යමරජු ඔහුගෙන් මේ විදිහට අහනවා. “එම්බා පුරුෂය, එතකොට මිනිසුන් අතර මිය ගිහින් එක දවසක් ගතවෙච්ච, දෙදවසක් ගතවෙච්ච, තුන් දවසක් ගතවෙච්ච, ඉදිමී ගිය, නිල් පැහැ ගැන්වී ගිය, කුණු වී ගිය, සැරව වෑහෙන ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ඔබ දැක්කේ නැද්ද?” ඔහු මෙහෙම කියනවා. “දැක්කා ස්වාමීනී.”
පින්වත් මහණෙනි, යමරජු ඔහුට මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, මහළු වෙලා සිටිය ඔබට නුවණැති කෙනෙක් හැටියට මේ විදිහට හිතුනේ නැද්ද? ‘මාත් මරණයට පත්වීම ස්වභාවය කොට ගෙන ඉන්නේ. මරණය ඉක්මවා ගිහින් නෑ. ඉතින් මාත් කයෙනුත්, වචනයෙනුත්, සිතිනුත් යහපත් දේවල් කරනවා නම් හොඳයි නේද?’ කියලා” එතකොට ඔහු මේ විදිහට කියනවා. “ස්වාමීනී, පින් කරගන්නට බැරිව ගියා. ස්වාමීනී, එයට වෙලාවක් නැතුව ගියා.”
පින්වත් මහණෙනි, යම රජු මේ විදිහට කියනවා. “එම්බා පුරුෂය, එතකොට ප්‍රමාද වෙච්ච නිසා කයෙන්, වචනයෙන්, මනසින් පින් කරගත්තේ නෑනෙ. එම්බා පුරුෂය, එහෙනම් ප්‍රමාදයට පත් වූ කෙනෙකුට යමක් කරනවාද, ඒ දේ තමයි ඔබට කරන්න තියෙන්නේ. ඒ මේ පාප කර්මය ඔබේ මව කරපු දෙයකුත් නොවෙයි. පියා කරපු දෙයකුත් නොවෙයි. සොහොයුරා කරපු දෙයකුත් නොවෙයි. සොහොයුරිය කරපු දෙයකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දෙයකුත් නොවෙයි. නෑදෑයන්, ලේ ඤාතීන් කරපු දෙයකුත් නෙවෙයි. දෙවියන් කරපු දෙයකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරපු දෙයකුත් නොවෙයි. එසේ නමුත් ඔබ විසින්මයි මේ පාප කර්මය කරගෙන තියෙන්නේ. ඔබම මේ කර්මයේ විපාකය විඳවන එකයි ඇත්තේ.”
පින්වත් මහණෙනි, යමරජු මේ විදිහට තුන්වෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කරලා, විමසා බලා, කරුණු විචාරා නිශ්ශබ්ද වෙනවා. පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඇවිදින් ඔහුට පංචවිධ බන්ධනය නම් වූ වදදීම කරනවා. රත් කරපු යකඩ උලක් අතක අනිනවා. රත් වෙච්ච යකඩ උලක් දෙවෙනි අතෙත් අනිනවා. රත් කරපු යකඩ උලක් පාදයේ අනිනවා. රත් කරපු යකඩ උලක් දෙවෙනි පාදයෙත් අනිනවා. රත් කරපු යකඩ උලක් පපුව මැදටත් ගහනවා. ඔහු ඒ හේතුවෙන් ඉතා තියුණු වූ, කටුක වූ, දුක් වූ වේදනා විඳිනවා. ඒ පාපකර්මය ගෙවී නොයන්නේ යම්තාක්ද, ඒතාක්කල්ම ඔහු මරණයට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ඔහුව දිගා කරවලා කෙටේරිවලින් සහිනවා. ඔහු ඒ හේතුවෙන් ඉතා තියුණු වූ, කටුක වූ, දුක් වූ වේදනා විඳිනවා. ඒ පාපකර්මය ගෙවී නොයන්නේ යම්තාක්ද, ඒතාක්කල්ම ඔහු මරණයට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ඔහුව පාද උඩුකුරුව තියලා, හිස යටිකුරු වෙන්න තියලා වෑවලින් සහිනවා. ඔහු ඒ හේතුවෙන් ඉතා තියුණු වූ, කටුක වූ, දුක් වූ වේදනා විඳිනවා. ඒ පාපකර්මය ගෙවී නොයන්නේ යම්තාක්ද, ඒතාක්කල්ම ඔහු මරණයට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ඔහුව රථයේ ගැටගසලා දිලිසෙන ගිනි දැල් සහිත ගිනි ඇවිලෙන බිමක ඔහුව එහාට මෙහාට ඇදගෙන යනවා. ඔහු ඒ හේතුවෙන් ඉතා තියුණු වූ, කටුක වූ, දුක් වූ වේදනා විඳිනවා. ඒ පාපකර්මය ගෙවී නොයන්නේ යම්තාක්ද, ඒතාක්කල්ම ඔහු මරණයට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ඔහුව ගිනි ඇවිලෙන දිලිසෙන ගිනිදැල් විහිදෙන ගිනි අඟුරු පර්වතයකට නග්ගනවා, බස්සනවා. ඔහු ඒ හේතුවෙන් ඉතා තියුණු වූ, කටුක වූ, දුක් වූ වේදනා විඳිනවා. ඒ පාපකර්මය ගෙවී නොයන්නේ යම්තාක්ද, ඒතාක්කල්ම ඔහු මරණයට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ඔහුගේ පාද උඩුකුරුවත්, හිස යටිකුරුවත් සිටින පරිද්දෙන් ගෙන ගිනි ඇවිලුණු දිලිසෙන ගිනිදැල් විහිදෙන ලෝදිය හැලියකට බස්සනවා. එතකොට ඒ ලෝදිය හැලියේ ඔහු පෙණ දමන සිරුරකින් යුතුව පැහෙනවා. ඔහු ඒ ලෝදිය හැලියේ පෙණ දමන සිරුරකින් යුතුව පැහි පැහී වතාවක් උඩට එනවා. වතාවක් යටට යනවා. වතාවක් හරස් අතට යනවා. ඔහු ඒ හේතුවෙන් ඉතා තියුණු වූ, කටුක වූ, දුක් වූ වේදනා විඳිනවා. ඒ පාපකර්මය ගෙවී නොයන්නේ යම්තාක්ද, ඒතාක්කල්ම ඔහු මරණයට පත්වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඇදල දමනවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරය වනාහී:
කොන් හතරක් තියෙනවා. දොරවල් හතරක් තියෙනවා. මැනලා බෙදලා කොටස් කරලයි තියෙන්නේ. යකඩ තාප්පයකින් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වහලයි තියෙන්නේ.
ඒ යකඩින් හැදුණු නිරය භූමිය ගිනිගෙන දිලිසෙනවා. ගිනි රස්නෙන් යුක්තයි. හාත්පස යොදුන් සියයක් පුරාම හැම කල්හිම ඒ ගින්න පැතිරිලා තියෙනවා.
පින්වත් මහණෙනි, මෙය සිදුවුණු දෙයක්. යම රජුට මේ විදිහට හිතුනා. “අහෝ! භවත්නි, යමෙක් වනාහී ලෝකයෙහි පාපකර්ම කරනවා නම්, ඔවුන් මේ විදිහේ විවිධාකාර වූ වදවේදනාවලට ලක්වෙනවා. අහෝ! මාත් මිනිස් ජීවිතයක් ලබනවා නම්, ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ නමක් ලෝකයෙහි උපදිනවා නම්, මට ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරන්නට ලැබුනොත්, ඒ භාග්‍යවතුන් වහන්සේත් මට ධර්මය දේශනා කරන සේක් නම්, මාත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා නම්, මොනතරම් හොඳද!” කියලා. පින්වත් මහණෙනි, ඔය කාරණාව මා වෙනත් ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අහලා නොවෙයි මේ විදිහට කියන්නේ. එනමුත් යමක් මා විසින්ම දැනගත්තා නම්, මා විසින්ම දැක්කා නම්, මා විසින්ම අවබෝධ කළ නම්, අන්න ඒ දේම තමයි මා මේ පවසන්නේ.
යම් මිනිසුන් පින් දහම් කිරීමෙහි ප්‍රමාදයට පත්වෙනවා නම්, දේවදූතයන් විසින් තමයි ඔවුන්ට චෝදනා කරන්නේ. එයට සවන් නොදෙන ඒ මිනිසුන් හීනාත්මභාව සංඛ්‍යාත නිරයෙහි ඉපදිලා බොහෝ කල් ශෝක කරනවා.
මෙහි යම් ශාන්ත වූ සත්පුරුෂයන් ඉන්නවා නම්, දේවදූතයන් විසින් ඔවුන්ට චෝදනා කරද්දී ඔවුන් ආර්ය ධර්මයෙහි හික්මෙන්නට කවදාවත් ප්‍රමාද වෙන්නේ නෑ.
ඉපදීමත්, මරණයත් උපදවා දෙන තණ්හාවට ඇලීමෙහි භය දැකලා ඒ කිසිවකට නොඇලී ජරා මරණයන්ගේ ක්ෂයවීම වන අමා නිවනට පැමිණ දුකින් නිදහස් වෙනවා.
ඒ අප්‍රමාදී වූ ශ්‍රාවකයන් මෙලොවදීම කෙලෙස් පිරිනිවීමෙන් නිවී සැපයට පත්වෙනවා. ඔවුන් සියලු වෛර භය ඉක්මවා ගිහින් හැම දුකින්ම එතෙර වෙනවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M