46. පින්වත් මහණෙනි, ගුණාංග තුනකින් යුතු රාජකීය වූ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙනවා. රජුගේ පරිහරණයට සුදුසු වෙනවා. රජුගේ රාජාංගයක් හැටියට සම්මත වෙනවා.
කවර ගුණාංග තුනක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා රාජකීය වූ යහපත් ආජානීය අශ්වයා වර්ණසම්පත්තියෙන් යුක්තයි, බලසම්පන්නයි, ජවසම්පන්නයි. පින්වත් මහණෙනි, මේ ගුණාංග තුනෙන් යුක්ත වූ රාජකීය වූ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙනවා. රජුගේ පරිහරණයට සුදුසු වෙනවා. රජුගේ රාජාංගයක් හැටියට සම්මත වෙනවා.
අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, කාරණා තුනකින් සමන්විත භික්ෂුව ආහුනෙය්‍ය වෙනවා, පාහුනෙය්‍ය වෙනවා, දක්ඛිණෙය්‍ය වෙනවා, අංජලිකරණීය වෙනවා, ලොවට උතුම් පින්කෙත වෙනවා.
කවර කරුණු තුනකින්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව වර්ණසම්පන්නයි, බලසම්පන්නයි, ජවසම්පන්නයි.
පින්වත් මහණෙනි, භික්ෂුව වර්ණ සම්පන්න වෙන්නේ කොයි ආකාරයෙන්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව වාසය කරනවා. යහපත් පැවැත්මෙන් යුක්තයි. ඉතා කුඩා වරදෙහි පවා භය දකිමින් වාසය කරනවා. ශික්ෂාපදවල සමාදන් වී හික්මෙනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයටයි භික්ෂුව වර්ණසම්පන්න වෙන්නේ.
පින්වත් මහණෙනි, කොයි විදිහටද භික්ෂුව බලසම්පන්න වෙන්නේ?
න්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, කුසල් දහම් උපදවා ගැනීම පිණිස පටන්ගත් වීරියෙන් යුතුව, දැඩි ස්ථාවරයෙන් යුතුව, දැඩි වීරියෙන් යුතුව, කුසල්දහම් වඩා ගැනීමේ වැඩපිළිවෙල අත්නොහැර වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ ආකාරයටයි භික්ෂුව බලසම්පන්න වෙන්නේ.
පින්වත් මහණෙනි, කොයි විදිහටද භික්ෂුව ජවසම්පන්න වෙන්නේ?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘මෙය තමයි දුක’ කියා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ….(පෙ)…. ‘මෙය තමයි දුක් නැතිකිරීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. පින්වත් මහණෙනි, මේ ආකාරයටයි භික්ෂුව ජවසම්පන්න වෙන්නේ.
පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් සමන්විත භික්ෂුව ආහුනෙය්‍යයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M