මහණෙනි, මේ අග්‍ර වූ පැහැදීම් සතරකි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, යම්තාක් පා රහිත වූ හෝ, දෙපා ඇති හෝ, සිවුපා ඇති හෝ, බොහෝ පා ඇති හෝ, රූපවත් වූ හෝ, අරූපවත් වූ හෝ සංඥාවත් වූ හෝ, සංඥා රහිත වූ හෝ නේවසංඥානාසංඥායතන වූ හෝ සත්වයෝ සිටිත් ද, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සකල සත්ව වර්ගයා අතර, අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, යමෙක් බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුන් පැහැදුණේ අග්‍ර වූ ස්ථානයෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.
මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යම්තාක් දේ ඇද්ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ සියල්ලට ම වඩා අග්‍ර වන්නේ යැයි කියනු ලැබේ. මහණෙනි, යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුන්ගේ ඒ ප්‍රසාදය ඇති වූයේ අග්‍ර වූ තැනක් කෙරෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වෙයි.
මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ ත්, හට නොගත්තා වූ ත් යම්තාක් දේ ඇද්ද, ඒ සියල්ලට ම වඩා අග්‍ර වන්නේ නිර්වාණය යි. යම් මේ කෙලෙස් මද මඩින, කෙලෙස් පිපාසය සංසිඳුවන, තෘෂ්ණාව මුලින් ම නසන, සසර ගමන නැති කරන, තණ්හාව ක්ෂය වන, විරාගී වූ, තෘෂ්ණා නිරෝධයෙන් ලැබෙන යම් නිවනක් ඇද්ද එය යි. මහණෙනි, යමෙක් ඒ විරාගී වූ ධර්මය කෙරෙහි පැහැදුණාහු වෙත් ද, ඔවුනගේ ඒ පැහැදීම අග්‍ර වූ දෙයක් කෙරෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වෙයි.
මහණෙනි, යම්තාක් පිරිස් හෝ සමූහයන් හෝ සිටිත් ද, ඔවුන් සියල්ලන්ට ම වඩා අග්‍ර වන්නේ තථාගත ශ්‍රාවක සංඝයා ය. යම් මේ පුරුෂ යුගල සතරකින් යුක්ත වූ, පුරුෂ පුද්ගල අටකින් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස යන ගුණයෙන් යුතු වෙයි ද ඒ සංඝයා ය. මහණෙනි, යමෙක් ආර්ය සංඝයා කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුහු අග්‍ර වූ පිරිස කෙරෙහි පැහැදුණාහු ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර ය.
මහණෙනි, මේ වනාහී අග්‍ර වූ පැහැදීම් සතර යි.
(ගාථා)
ඒකාන්තයෙන් අග්‍ර වූ පැහැදීමට අයත් අග්‍ර වූ ධර්මය අවබෝධ කොට වදාළ අනුත්තර වූ, දන් පිළිගැනීමෙහි සුදුසු වූ අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි පැහැදුණු සිත් ඇති තැනැත්තාට,
විරාගී වූ කෙලෙස් සංසිඳවාලන, සැපය ඇත්තා වූ අග්‍ර ධර්මයෙහි සිත පහදවාගත් තැනැත්තාට, අනුත්තර පින් කෙත වූ ආර්ය සංඝයා කෙරෙහි සිත පහදවා ගත් තැනැත්තාට,
ඒ අග්‍ර වූ උතුමන් කෙරෙහි දෙන දානය ද අග්‍ර පින් ලබා දෙන්නේ වෙයි. අග්‍ර වශයෙන් ආයු, වර්ණ, සැප, යස, කීර්ති, බල ලබා දෙයි.
4. අග්‍ර වූ ධර්මයෙන් යුක්ත අග්‍ර වූ ශ්‍රාවක සංඝයා විෂයෙහි යම් නුවණැත්තෙක් දානාදිය පූජා කරයි ද, හේ දෙව් බවට හෝ මිනිස් බවට හෝ පැමිණි විට අග්‍ර බවට පත් ව සතුටු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අග්ගප්පසාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M