අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.5.9. විපල්ලාස සුත්තං

4.1.5.9. විපරීත වූ දේ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ විපරීත සංඥාවෝ, චිත්ත විපරීතයෝ, දෘෂ්ටි විපරීතයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

1. මහණෙනි, අනිත්‍ය දේ පිළිබඳ ව නිත්‍ය යයි දකියි ද, මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි. විපරීත දෘෂ්ටියකි.

2. මහණෙනි, දුක් වූ දේ පිළිබඳ ව සැප යයි දකියි ද, මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි. විපරීත දෘෂ්ටියකි.

3. මහණෙනි, අනාත්ම වූ දේ පිළිබඳ ව ආත්ම යයි දකියි ද, මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි. විපරීත දෘෂ්ටියකි.

4. මහණෙනි, අසුභ දේ පිළිබඳ ව සුභ යයි දකියි ද, මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි. විපරීත දෘෂ්ටියකි.

මහණෙනි, මේ වනාහී විපරීත සංඥාවෝ, චිත්ත විපරීතයෝ, දෘෂ්ටි විපරීතයෝ සතරයි.

මහණෙනි, මේ විපරීත සංඥා නොවන, චිත්ත විපරීතයක් නොවන, දෘෂ්ටි විපරීතයක් නොවන කරුණු සතරකි. ඒ කවර සතරක් ද යත්;

1. මහණෙනි, අනිත්‍ය දේ පිළිබඳ ව අනිත්‍ය වශයෙන් දකියි ද, මෙය අවිපරීත සංඥාවකි. අවිපරීත සිතකි. අවිපරීත දෘෂ්ටියකි.

2. මහණෙනි, දුක් වූ දේ පිළිබඳ ව දුක වශයෙන් දකියි ද, මෙය අවිපරීත සංඥාවකි. අවිපරීත සිතකි. අවිපරීත දෘෂ්ටියකි.

3. මහණෙනි, අනාත්ම වූ දේ පිළිබඳ ව අනාත්ම වශයෙන් දකියි ද, මෙය අවිපරීත සංඥාවකි. අවිපරීත සිතකි. අවිපරීත දෘෂ්ටියකි.

4. මහණෙනි, අසුභ දේ පිළිබඳ ව අසුභ වශයෙන් දකියි ද, මෙය අවිපරීත සංඥාවකි. අවිපරීත සිතකි. අවිපරීත දෘෂ්ටියකි.

මහණෙනි, මේ වනාහී විපරීත සංඥා නොවන, චිත්ත විපරීතයක් නොවන, දෘෂ්ටි විපරීතයක් නොවන කරුණු සතරයි.

(ගාථා)

1. අනිත්‍ය දේ පිළිබඳ ව නිත්‍ය සංඥාවෙන් යුතු, දුක් දේ පිළිබඳ ව සැප සංඥාවෙන් යුතු, අනාත්ම දේ පිළිබඳ ව ආත්ම සංඥාවෙන් යුතු, අසුභ දේ පිළිබඳ ව සුභ සංඥාවෙන් යුතු,

2. වැරදි ලෙස දෘෂ්ටිගත වූ සත්වයෝ සැලෙන සිතින් යුතුව, විපරීත සිතින් යුතුව සිටිති. ඒ කෙලෙස් යෝගයන්ගෙන් නිදහස් ව ලබන බිය රහිත බව නොලැබූ ඔවුහු මාරයාගේ ක්ලේශ යෝගයෙහි යෙදුණාහු වෙති.

3. මෙසේ සත්වයෝ ඉපදෙන මැරෙන සසරේ සැරිසරා යති. යම් කලෙක අඳුරු ලොව එළිය කරන බුදුවරයෝ ලෝකයෙහි පහළ වෙත් ද,

4. ඒ බුදුවරු දුක් සංසිඳවන්නා වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරති. ප්‍රඥාව ඇති සත්වයෝ ඒ බුදුවරුන්ගේ ධර්මය අසා තම සිතට අවබෝධය ලබා,

5. එකල්හී ඔවුහු අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන් දුටහ. දුක් දෙය දුක් වශයෙන් දුටහ. අනාත්ම දෙය අනාත්ම වශයෙන් දුටහ. අසුභ දෙය අසුභ වශයෙන් දුටහ. මෙසේ නිවැරදි දෘෂ්ටියක් සමාදන් වීම හේතුවෙන් සියළු සසර දුක් ඉක්මවා ගියහ.

සාදු! සාදු!! සාදු!!!

විපල්ලාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M