සැවැත් නුවර දී ය…….
එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ මේ කරුණු සතරෙකි. ඒ කවර සතර කරුණක් ද යත්;
1. ‘මා හට දැහැමි බව රැකගනිමින් භෝග සම්පත් උපදීවා’ යි මෙය සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ පළමුවෙනි කරුණ යි.
2. ‘දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ, ගුරුවර ඥාතිහිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත්වේවා’ යි මෙය සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ දෙවෙනි කරුණ යි.
3. ‘දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ, ගුරුවර ඥාතිහිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත් ව, බොහෝ කලක් ජීවත් වෙම්වා, දීර්ඝායුෂ ලබම්වා’ යි මෙය සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ තෙවෙනි කරුණ යි.
4. ‘දැහැමි බව රැකගෙන භෝග සම්පත් ලැබ, ගුරුවර ඥාතිහිතමිත්‍රාදීන් සහිත වූ මාගේ පිරිවර සම්පත් දියුණුවට පත් ව, බොහෝ කලක් ජීවත් ව, දීර්ඝායුෂ ලබා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි ඉපදෙම්වා’ යි මෙය සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ සිව්වෙනි කරුණ යි.
ගෘහපතිය, මේ වනාහී සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ කරුණු සතර යි.
ගෘහපතිය, ලෝකයෙහි ඇති සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ මේ කරුණු සතර ලැබීම පිණිස උපකාරී වන ධර්ම සතරක් ඇත්තේ ය. ඒ කවර සතරක් ද යත්;
ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය යි.
1. ගෘහපතිය, ශ්‍රද්ධා සම්පත්තිය යනු කුමක් ද? ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වූයේ වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තේ වෙයි. එනම්, ‘මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ගෘහපතිය, මෙය ශ්‍රද්ධා සම්පත්තිය යැයි කියනු ලැබේ.
2. ගෘහපතිය සීල සම්පත්තිය යනු කුමක්ද? ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකමින් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. ගෘහපතිය, මෙය සීල සම්පත්තිය යැයි කියනු ලැබේ.
3. ගෘහපතිය, ත්‍යාග සම්පත්තිය යනු කුමක්ද? ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවකයා මසුරුමල බැහැර කළ සිතින් යුතුව ගිහිගෙදර වාසය කරයි. දන් පැන් දීම පිණිස නොබැඳුණු සිතින් යුතු වෙයි. දෙන්නට සූදානම් වූ අත් ඇති ව සිටියි. දීමෙහි ඇළුණේ වෙයි. තමාගෙන් ඉල්ලීමට සුදුසු වූයේ වෙයි. දන් දීමෙහි බෙදීමෙහි ඇළුණේ වෙයි. ගෘහපතිය, මෙය ත්‍යාග සම්පත්තිය යැයි කියනු ලැබේ.
4. ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය යනු කුමක්ද? ගෘහපතිය, දැඩි ලෝභය විෂම ලෝභයෙන් මැඩුණු සිතින් යුතු තැනැත්තා ගිහිගෙදර වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුත්ත අත්හරියි. නොකළ යුත්ත කරනුයේ, කළ යුත්ත අත්හරිනුයේ පිරිවරෙනුත්, සැපයෙනුත් පිරිහී යයි. ගෘහපතිය, ද්වේෂයෙන් මැඩුණු සිතින් යුතු තැනැත්තා ගිහිගෙදර වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුත්ත අත්හරියි. නොකළ යුත්ත කරනුයේ, කළ යුත්ත අත්හරිනුයේ පිරිවරෙනුත්, සැපයෙනුත් පිරිහී යයි. ගෘහපතිය, නිදිමතෙන් හා අලස බවින් මැඩුණු සිතින් යුතු තැනැත්තා ගිහිගෙදර වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුත්ත අත්හරියි. නොකළ යුත්ත කරනුයේ, කළ යුත්ත අත්හරිනුයේ පිරිවරෙනුත්, සැපයෙනුත් පිරිහී යයි. ගෘහපතිය, සිතේ විසිරීමෙන් හා පසුතැවීමෙන් මැඩුණු සිතින් යුතු තැනැත්තා ගිහිගෙදර වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුත්ත අත්හරියි. නොකළ යුත්ත කරනුයේ, කළ යුත්ත අත්හරිනුයේ පිරිවරෙනුත්, සැපයෙනුත් පිරිහී යයි. ගෘහපතිය, සැකයෙන් මැඩුණු සිතින් යුතු තැනැත්තා ගිහිගෙදර වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුත්ත අත්හරියි. නොකළ යුත්ත කරනුයේ, කළ යුත්ත අත්හරිනුයේ පිරිවරෙනුත්, සැපයෙනුත් පිරිහී යයි.
ගෘහපතිය, ඒ ආර්යශ්‍රාවක තෙමේ ලෝභය ත්, විෂම ලෝභය ත් සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ අභිධ්‍යා විෂම ලෝභය සිතින් බැහැර කරයි. ද්වේෂය සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ ව්‍යාපාදය සිතින් බැහැර කරයි. නිදිමත හා අලස බව සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ ථීනමිද්ධය සිතින් බැහැර කරයි. සිතේ විසිරීම හා පසුතැවීම සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ උද්ධච්ච කුක්කුච්චය සිතින් බැහැර කරයි. සැකය සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ විචිකිච්ඡාව සිතින් බැහැර කරයි.
ගෘහපතිය, යම් කලෙක සිත ආර්ය ශ්‍රාවකයාගේ ලෝභය ත්, විෂම ලෝභය ත් සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ අභිධ්‍යා විෂම ලෝභය සිතින් බැහැර වූයේ වේ ද, ද්වේෂය සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ ව්‍යාපාදය සිතින් බැහැර වූයේ වේ ද, නිදිමත හා අලස බව සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ ථීනමිද්ධය සිතින් බැහැර වූයේ වේ ද, සිතේ විසිරීම හා පසුතැවීම සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ උද්ධච්ච කුක්කුච්චය සිතින් බැහැර වූයේ වේ ද, සැකය සිතට ඇති උපක්ලේශයක් බව නුවණින් දැන ඒ විචිකිච්ඡාව සිතින් බැහැර වූයේ වේ ද, ගෘහපතිය, මෙම ආර්ය ශ්‍රාවකයා මහා ප්‍රඥාවන්තයෙක් ය, විපුල ප්‍රඥාවන්තයෙක් ය, ඉදිරිය දුටු කෙනෙක් ය, ප්‍රඥා සම්පන්නයෙක් යැයි කියනු ලැබේ. ගෘහපතිය, මෙය ප්‍රඥාසම්පත්තිය යි.
ගෘහපතිය, මේ වනාහී ලෝකයෙහි ඇති සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ මේ කරුණු සතර ලැබීම පිණිස උපකාරී වන ධර්ම සතර යි.
ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් වලින් කටයුතු සතරක් කරන්නේ වෙයි. ඒ කවර කටයුතු සතරක් ද යත්;
1. ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් වලින් තමාගේ සැපය පිණිස ද, පිනවීම පිණිස ද කටයුතු කරයි. ඉතා සුව සේ වාසය කරයි. එමෙන් ම මව්පියන්ගේ සැපය පිණිස ද, පිනවීම පිණිස ද කටයුතු කරයි. අඹුදරුවන්ගේ දාස කම්කරු ජනයාගේ සැපය පිණිස ද, පිනවීම පිණිස ද කටයුතු කරයි. හිතමිතුරන්ගේ සැපය පිණිස ද, පිනවීම පිණිස ද කටයුතු කරයි. මෙය ඔහුගේ පළමුවෙනි කටයුත්ත වෙයි. තමා වෙත ලැබුණු දෙය නිසි අයුරින් පරිභෝග කරන ලද්දේ වෙයි.
2. තව ද ගෘහපතිය, ආර්ය ශ්‍රාවක තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් වලින් මෙසේ කටයුතු කරයි. එනම් යම් ආපදා අවස්ථාවක් වෙයි නම්, ගින්නෙන් වේවා, දියෙන් වේවා, රජයෙන් වේවා, සොරුන්ගෙන් වේවා, තමා අකමැති පුද්ගලයන් අයිතිය හඟවා පැහැර ගැනීමෙන් වේවා, එබඳු වූ ආපදාවන් හිදී තමාගේ භෝග සම්පත් යළි නැගී සිටීමට යොදවන්නේ වෙයි. තමාගේ ජීවිතය සුවපත් කරන්නේ වෙයි. මෙය ඔහුගේ දෙවෙනි කටයුත්ත වෙයි. තමා වෙත ලැබුණු දෙය නිසි අයුරින් පරිභෝග කරන ලද්දේ වෙයි.
3. තව ද ගෘහපතිය, ආර්ය ශ්‍රාවක තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් වලින් බලි හෙවත් සංග්‍රහ පසක් කරන්නේ වෙයි. එනම් ඥාතීන්ට සංග්‍රහ කරන්නේ වෙයි, ආගන්තුකයින්ට සංග්‍රහ කරන්නේ වෙයි, මියගිය ඥාතීන් උදෙසා සංග්‍රහ කරන්නේ වෙයි, රජුන් උදෙසා සංග්‍රහ කරන්නේ වෙයි, දෙවියන්ට ද සංග්‍රහ කරන්නේ වෙයි. මෙය ඔහුගේ තුන්වෙනි කටයුත්ත වෙයි. තමා වෙත ලැබුණු දෙය නිසි අයුරින් පරිභෝග කරන ලද්දේ වෙයි.
4. තව ද, ගෘහපතිය, ආර්ය ශ්‍රාවක තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් වලින් මෙසේ කටයුතු කරයි. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මත්වෙන ප්‍රමාදවෙන කරුණෙන් වෙන් වී, ඉවසීම් කීකරුවීම් ආදී ගුණධර්මයන් තුළ සිටිති. කෙනෙක් තමා ව දමනය කරගනිති. කෙනෙක් තමා ව සංසිඳුවා ගනිති. කෙනෙක් පිරිනිවීමට පත්වෙති. එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා උසස් විපාක දෙන දන්පැන් පුදන්නේ වෙයි. සුගතියෙහි සැප ලබා දෙන සැප විපාක ඇති සුගති උපත සළසාලන පින් කරන්නේ වෙයි. මෙය ඔහුගේ සිව්වෙනි කටයුත්ත වෙයි. තමා වෙත ලැබුණු දෙය නිසි අයුරින් පරිභෝග කරන ලද්දේ වෙයි.
ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවක තෙමේ නැගී සිටි වීරියෙන් යුතුව, අතපය වෙහෙසීමෙන් යුතුව, ඩහදිය වැගිරීමෙන් යුතුව, ධාර්මික ව, දැහැමින් ලද භෝග සම්පත් වලින් මේ තමන් වෙත පැමිණි කටයුතු සතර කරන්නේ වෙයි.
ගෘහපතිය, යම්කිසි කෙනෙකුට තමා වෙත පැමිණි මෙම කටයුතු සතර අත්හැර දමා වෙනත් කටයුතු වලින් තමන්ගේ භෝග සම්පත් වැනසී යන්නේ ද, ගෘහපතිය, මේ භෝගයන් නුසුදුසු තැනට ගිය බව ත්, නුසුදුසු සේ ලැබූ බව ත්, අනිසි අයුරින් පරිභෝග කළ බව ත් කියනු ලැබේ.
ගෘහපතිය, යම්කිසි කෙනෙකුට තමා වෙත පැමිණි මෙම කටයුතු සතර වෙනුවෙන් තමන්ගේ භෝග සම්පත් වියදම් වන්නේ ද, ගෘහපතිය, මේ භෝගයන් සුදුසු තැනට ගිය බව ත්, සුදුසු සේ ලැබූ බව ත්, නිසි අයුරින් පරිභෝග කළ බව ත් කියනු ලැබේ.
(ගාථා)
1. භෝග සම්පත් පරිභෝග කරන ලද්දේ ය. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරන ලද්දාහ. ආපදාවන්හි දී මා විසින් ධනය යොදන ලද්දේ ය. මතු මත්තෙහි යහපත ලබාදෙන දන්පැන් දෙන ලද්දේ ය. එමෙන් ම පංච සංග්‍රහයන් කරන ලද්දේ ය.
2. සංවර වූ ඉඳුරන් ඇති, සිල්වත් වූ, බඹසරෙහි හැසිරෙන උතුමෝ උපස්ථාන කරන ලද්දාහු ය. ගිහිගෙයි වසන නුවණැති කෙනෙක් යම්කරුණක් උදෙසා ධන ධාන්‍ය උපදවනු කැමති වෙයි ද, මා විසින් ඒ කරුණු ලබන ලදී. පසුතැවිලි නොවන කටයුතු කරන ලදී.
3. මෙසේ ආර්ය ධර්මයෙහි පිහිටි මනුෂ්‍ය තෙමේ සිහි කරන්නේ වෙයි ද, මෙහිදී ම ඔහුට පැසසුම් ලැබේ. පරලොව සුගතියෙහි ගොස් ඉතා සතුටට පත්වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පත්තකම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M