අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.4.1. සඤ්ඤෝජන පුග්ගල සුත්තං

4.3.4.1. සංයෝජනයෙන් බැඳුණු පුද්ගලයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී නැත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී නැත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී නැත්තේ ය.

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී ඇත්තේ ය.

1. මහණෙනි, ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී නැත්තේ, උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ, භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ කවර පුද්ගලයෙකු හට ද? සකදාගාමී කෙනා හට ය. මහණෙනි, මේ සකදාගාමී පුද්ගලයා හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී නැත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය.

2. මහණෙනි, ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ නමුත් උපත ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී නැත්තේ, භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ කවර පුද්ගලයෙකු හට ද? උඩු අතට අකණිටා බඹලොව තෙක් යන්නා වූ පුද්ගලයා හට ය. මහණෙනි, මේ උද්ධං සෝත අකණිට්ඨගාමී පුද්ගලයා හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. එනමුදු උපත ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී නැත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය.

3. මහණෙනි, ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ත් වෙයි ද, උපත ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී ඇත්තේ ත් වෙයි ද, නමුත් භවය ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී නැත්තේ කවර පුද්ගලයෙකු හට ද? සුද්ධාවාස බඹලොවෙහි උපදින අතරේ පිරිනිවන් පාන අන්තරා පරිනිබ්බායී පුද්ගලයාට ය. මහණෙනි, මේ අන්තරා පරිනිබ්බායී පුද්ගලයා හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී නැත්තේ ය.

4. මහණෙනි, ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ත්, උපත ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී ඇත්තේ ත්, භවය ඇති කරදෙන සංයෝජනයන් ප්‍රහාණයට පත් වී ඇත්තේ ත් කවර පුද්ගලයෙකු හට ද? රහතන් වහන්සේට ය. මහණෙනි, මේ අරහත් පුද්ගලයා හට ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. උපත ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී ඇත්තේ ය. භවය ඇති කරදෙන සංයෝජනයන් ද ප්‍රහාණයට පත් වී ඇත්තේ ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

සංයෝජන පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M