අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.3.8. චේතෝ විමුක්ති සුත්තං

4.4.3.8. චිත්ත විමුක්තිය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ සක්කාය නිරෝධය මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත සක්කාය නිරෝධයෙහි නොබැස ගනියි. නොපහදියි. නොසිටියි. මැනැවින් නොපිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට සක්කාය නිරෝධය නොකැමති විය යුත්තේ ය. මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් කොහොල්ලෑ තැවරුණු අතින් ගසක අත්තක් අල්ලන්නේ නම් ඔහුගේ අත එහි ඇලවෙන්නේ වෙයි. එයට ඇදගත්තේ වෙයි. එයට කා වැදුණේ වෙයි. මහණෙනි, එසෙයින් ම භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ සක්කාය නිරෝධය මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත සක්කාය නිරෝධයෙහි නොබැස ගනියි. නොපහදියි. නොසිටියි. මැනැවින් නොපිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට සක්කාය නිරෝධය නොකැමති විය යුත්තේ ය.

2. මහණෙනි, මෙහිලා භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ සක්කාය නිරෝධය මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත සක්කාය නිරෝධයෙහි බැස ගනියි. පහදියි. සිටියි. මැනැවින් පිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට සක්කාය නිරෝධය කැමති විය යුත්තේ ය. මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් සෝදා ගත් අතින් ගසක අත්තක් අල්ලන්නේ නම් ඔහුගේ අත එහි නොඇලවෙන්නේ වෙයි. එයට නොඇදගත්තේ වෙයි. එයට කා වැදුණේ නොවෙයි. මහණෙනි, එසෙයින් ම භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ සක්කාය නිරෝධය මෙනෙහි කරයි. සක්කාය නිරෝධය මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත සක්කාය නිරෝධයෙහි බැස ගනියි. පහදියි. සිටියි. මැනැවින් පිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට සක්කාය නිරෝධය කැමති විය යුත්තේ ය.

3. මහණෙනි, මෙහිලා භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරයි. අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත අවිද්‍යාව බිඳ හෙලීමෙහි නොබැස ගනියි. නොපහදියි. නොසිටියි. මැනැවින් නොපිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට අවිද්‍යාව බිඳ හෙලීම නොකැමති විය යුත්තේ ය. මහණෙනි, එය මෙබඳු දෙයකි. බොහෝ වසර ගණනක් පැරණි කුණු වළක් ඇත්තේ ය. පුරුෂයෙක් ඒ වළට දිය ඇතුල් වෙන දොරටු ඇත්නම් ඒවා වසා දමයි. එහි දිය පිටවෙන දොරටු ඇත්නම් ඒවා හැර දමයි. එනමුදු මනාකොට වැසි දහර නොවසින්නේ වෙයි. මහණෙනි, මෙසේ ඇති කල්හී ඒ කුණු වළෙහි බැම්ම බිඳ හෙලීම නොකැමති විය යුත්තේ ය. එසෙයින් ම මහණෙනි, භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරයි. අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත අවිද්‍යාව බිඳ හෙලීමෙහි නොබැස ගනියි. නොපහදියි. නොසිටියි. මැනැවින් නොපිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට අවිද්‍යාව බිඳ හෙලීම නොකැමති විය යුත්තේ ය.

4. මහණෙනි, මෙහිලා භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරයි. අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත අවිද්‍යාව බිඳ හෙලීමෙහි බැස ගනියි. පහදියි. සිටියි. මැනැවින් පිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට අවිද්‍යාව බිඳ හෙලීම කැමති විය යුත්තේ ය. මහණෙනි, එය මෙබඳු දෙයකි. බොහෝ වසර ගණනක් පැරණි කුණු වළක් ඇත්තේ ය. පුරුෂයෙක් ඒ වළට දිය ඇතුල් වෙන දොරටු ඇත්නම් ඒවා හැර දමයි. එහි දිය පිටවෙන දොරටු ඇත්නම් ඒවා වසා දමයි. එකල්හී මනාකොට වැසි දහර වසින්නේ වෙයි. මහණෙනි, මෙසේ ඇති කල්හී ඒ කුණු වළෙහි බැම්ම බිඳ හෙලීම කැමති විය යුත්තේ ය. එසෙයින් ම මහණෙනි, භික්ෂුව එක්තරා ශාන්ත චිත්ත විමුක්තියක් උපදවා වාසය කරන්නේ වෙයි. හේ අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරයි. අවිද්‍යාව බිඳ හෙලීම මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත අවිද්‍යාව බිඳ හෙලීමෙහි බැස ගනියි. පහදියි. සිටියි. මැනැවින් පිහිටයි. මහණෙනි, ඒ භික්ෂුව හට අවිද්‍යාව බිඳ හෙලීම කැමති විය යුත්තේ ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

චේතෝ විමුක්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M