අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.6. බහුස්සුත සුත්තං

4.4.4.6. බහුශ්‍රැත බව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ලෝකය ගෙන යනු ලබන්නේ කවුරුන් විසින් ද? ලෝකය කවුරුන් විසින් අදිනු ලැබෙයි ද? ලෝකය කවරෙකුගේ වසඟයට ගියේ ද?”

“සාදු! සාදු! භික්ෂුව, භික්ෂුව, ඔබගේ සිතන පිළිවෙල සොඳුරු ය. ප්‍රතිභානය සොඳුරු ය. විමසීම කල්‍යාණ ය. භික්ෂුව, ඔබ මෙසේ විමසන්නෙහි නොවේ ද? ‘ස්වාමීනී, ලෝකය ගෙන යනු ලබන්නේ කවුරුන් විසින් ද? ලෝකය කවුරුන් විසින් අදිනු ලැබෙයි ද? ලෝකය කවරෙකුගේ වසඟයට ගියේ ද?’ කියා.”

“එසේ ය, ස්වාමීනී”

“භික්ෂුව, ලෝකය ගෙන යනු ලබන්නේ සිත විසිනි. අදිනු ලබන්නේ සිත විසිනි. හටගත් සිතෙහි වසඟයට ගියේ වෙයි.”

“සාදු! ස්වාමීනී” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිගෙන අනුමෝදන් ව භාග්‍යවතුන් වහන්සේගෙන් යළි ප්‍රශ්නයක් ඇසුවේ ය.

“ස්වාමීනී, ‘බහුශ්‍රැත ය, ධර්මධර ය’ ‘බහුශ්‍රැත ය, ධර්මධර ය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, බහුශ්‍රැත වන්නේ ත්, ධර්මධර වන්නේ ත් කවර කරුණු මත ද?”

“සාදු! සාදු! භික්ෂුව, භික්ෂුව, ඔබගේ සිතන පිළිවෙල සොඳුරු ය. ප්‍රතිභානය සොඳුරු ය. විමසීම කල්‍යාණ ය. භික්ෂුව, ඔබ මෙසේ විමසන්නෙහි නොවේ ද? ස්වාමීනී, ‘බහුශ්‍රැත ය, ධර්මධර ය’ ‘බහුශ්‍රැත ය, ධර්මධර ය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, බහුශ්‍රැත වන්නේ ත්, ධර්මධර වන්නේ ත් කවර කරුණු මත ද?’ කියා.”

“එසේ ය, ස්වාමීනී”

“භික්ෂුව, මා විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් බොහෝ කොට ධර්මය දෙසන ලද්දේ ය. ඉදින් භික්ෂුවක් සිව්පද ගාථාවක නමුත් අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙයි ද ‘බහුශ්‍රැත ය, ධර්මධර ය’ කියන්නට සුදුසු ය.”

“සාදු! ස්වාමීනී” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිගෙන අනුමෝදන් ව භාග්‍යවතුන් වහන්සේගෙන් යළි ප්‍රශ්නයක් ඇසුවේ ය.

“ස්වාමීනී, ‘ශ්‍රැතවත් ය, කෙලෙස් නසන ප්‍රඥාවෙන් යුතුය’, ‘ශ්‍රැතවත් ය, කෙලෙස් නසන ප්‍රඥාවෙන් යුතුය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, ශ්‍රැතවත් වන්නේ ත්, කෙලෙස් සිඳලන තියුණු ප්‍රඥාවෙන් යුතු වන්නේ ත් කවර කරුණු මත ද?”

“සාදු! සාදු! භික්ෂුව, භික්ෂුව, ඔබගේ සිතන පිළිවෙල සොඳුරු ය. ප්‍රතිභානය සොඳුරු ය. විමසීම කල්‍යාණ ය. භික්ෂුව, ඔබ මෙසේ විමසන්නෙහි නොවේ ද? ‘ස්වාමීනී, ‘ශ්‍රැතවත් ය, කෙලෙස් නසන ප්‍රඥාවෙන් යුතුය’, ‘ශ්‍රැතවත් ය, කෙලෙස් නසන ප්‍රඥාවෙන් යුතුය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, ශ්‍රැතවත් වන්නේ ත්, කෙලෙස් සිඳලන තියුණු ප්‍රඥාවෙන් යුතු වන්නේ ත් කවර කරුණු මත ද?’ කියා.”

“එසේ ය, ස්වාමීනී”

“භික්ෂුව, මෙහිලා භික්ෂුව විසින් ‘මෙය දුක යැ’යි අසන ලද්දේ වෙයි. එහි අර්ථය ඔහුගේ ප්‍රඥාව තුළින් විනිවිද දකියි. ‘මෙය දුකෙහි හටගැනීම යැ’ යි අසන ලද්දේ වෙයි. එහි අර්ථය ඔහුගේ ප්‍රඥාව තුළින් විනිවිද දකියි. ‘මෙය දුකෙහි නිරුද්ධ වීම යැ’යි අසන ලද්දේ වෙයි. එහි අර්ථය ඔහුගේ ප්‍රඥාව තුළින් විනිවිද දකියි. ‘මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැ’යි අසන ලද්දේ වෙයි. එහි අර්ථය ඔහුගේ ප්‍රඥාව තුළින් විනිවිද දකියි. භික්ෂුව, මේ අයුරින් ශ්‍රැතවත් වන්නේ වෙයි. කෙලෙස් නසන තියුණු ප්‍රඥාවෙන් යුක්ත වන්නේ ද වෙයි.”

“සාදු! ස්වාමීනී” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිගෙන අනුමෝදන් ව භාග්‍යවතුන් වහන්සේගෙන් යළි ප්‍රශ්නයක් ඇසුවේ ය.

“ස්වාමීනී, ‘පණ්ඩිතයා ය, මහා ප්‍රාඥයා ය’, ‘පණ්ඩිතයා ය, මහා ප්‍රාඥයා ය’ කියනු ලැබෙයි. ස්වාමීනී, පණ්ඩිතයෙක් වන්නේ ත්, මහා ප්‍රාඥයෙක් වන්නේ ත් කවර කරුණු මත ද?”

“සාදු! සාදු! භික්ෂුව, භික්ෂුව, ඔබගේ සිතන පිළිවෙල සොඳුරු ය. ප්‍රතිභානය සොඳුරු ය. විමසීම කල්‍යාණ ය. භික්ෂුව, ඔබ මෙසේ විමසන්නෙහි නොවේ ද? ‘ස්වාමීනී, ‘පණ්ඩිතයා ය, මහා ප්‍රාඥයා ය’, ‘පණ්ඩිතයා ය, මහා ප්‍රාඥයා ය’ කියනු ලැබෙයි. ස්වාමීනී, පණ්ඩිතයෙක් වන්නේ ත්, මහා ප්‍රාඥයෙක් වන්නේ ත් කවර කරුණු මත ද?’ කියා.”

“එසේ ය, ස්වාමීනී”

“භික්ෂුව, මෙහිලා පණ්ඩිතයා, මහා ප්‍රාඥයා තමා ව පීඩාවට පත් කිරීමට නොසිතන්නේ වෙයි. අනුන් පෙළීමට ද නොසිතන්නේ වෙයි. තමා ව ත්, අනුන් ව ත් යන දෙපක්ෂය ම පෙළීමට නොසිතන්නේ වෙයි. තමාට හිත පිණිස ත්, අනුන්ට හිත පිණිස ත්, දෙපක්ෂයට ම හිත පිණිස ත්, සකල ලෝකයට හිත පිණිස ත් සිතන දේ සිතයි. භික්ෂුව, මේ අයුරින් පණ්ඩිතයා වෙයි. මහා ප්‍රාඥයා වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

බහුස්සුත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M