අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.6.7. දුතිය ආජානීය සුත්තං

4.6.7. ආජානේය අශ්වයා ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, සිව් කරුණකින් යුක්ත වූ රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි. ඒ කවර කරුණු සතරකින් ද යත්;

මහණෙනි, මෙහිලා රජුගේ සොඳුරු ආජානේය අශ්වයා මනා පැහැයෙන් යුක්ත වෙයි. සවිශක්තියෙන් යුක්ත වෙයි. ජවයෙන් යුක්ත වෙයි. ආරෝහපරිනාහයෙන් යුක්ත වෙයි.

මහණෙනි, මේ සිව් කරුණෙන් යුක්ත වූ රජුගේ සොඳුරු ආජානේය අශ්වයා රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රජුගේ අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි.

මේ අයුරින් ම මහණෙනි, සිව් ධර්මයකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි. ඒ කවර සිව් දහමකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව මනා පැහැයෙන් යුක්ත වෙයි. සවිශක්තියෙන් යුක්ත වෙයි. ජවයෙන් යුක්ත වෙයි. ආරෝහපරිනාහයෙන් යුක්ත වෙයි.

1. මහණෙනි, භික්ෂුවක් මනා පැහැයෙන් යුතු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව මනා පැහැයෙන් යුක්ත වෙයි.

2. මහණෙනි, භික්ෂුවක් සවිශක්තියෙන් යුක්ත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස බලවත් වූ දැඩි පරාක්‍රමයකින් යුක්ත වූයේ කුසල් දහම් පිළිබඳ ව අත්නොහරින වීර්යය ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව සවිශක්තියෙන් යුක්ත වූයේ වෙයි.

3. මහණෙනි, භික්ෂුවක් ජවසම්පන්න වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ භික්ෂුව ජවසම්පන්න වෙයි.

4. මහණෙනි, භික්ෂුවක් ආරෝහපරිනාහයෙන් යුක්ත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුළු වෙයි. මෙසේ භික්ෂුව ආරෝහපරිනාහයෙන් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, මේ සිව් ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ආජානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M