අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.3.4. දුස්සීල සුත්තං

5.1.3.4. දුස්සීල බව ගැන වදාළ දෙසුම

මහණෙනි, සීලයෙන් තොර වූ දුසිල් තැනැත්තා හට සම්මා සමාධිය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. සම්මා සමාධිය නැති කල්හී සම්මා සමාධියෙන් තොර ව වසන්නහුට යථාභූත ඥාන දර්ශනය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. යථාභූත ඥාන දර්ශනය නැති කල්හී යථාභූත ඥාන දර්ශයෙන් තොර ව වසන්නහුට අවබෝධයෙන් ම එපා වීම ත්, නොඇලීම ත් යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. නිබ්බිදා විරාගය නැති කල්හී නිබ්බිදා විරාගයෙන් තොර ව වසන්නහුට විමුක්ති ඥාන දර්ශනය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. අතුපතරින් හා කොළ දළුවලින් තොර වූ වෘක්ෂයක් තිබෙන්නේ යම් පරිදි ද, එකල්හී ඒ වෘක්ෂයෙහි පොතු ත් වැඩීමට නොයයි. සිවිය ත් වැඩීමට නොයයි. එළය ත් වැඩීමට නොයයි. අරටුව ත් වැඩීමට නොයයි. එසෙයින් ම මහණෙනි, සීලයෙන් තොර වූ දුසිල් තැනැත්තා හට සම්මා සමාධිය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. ….(පෙ)…. විමුක්ති ඥාන දර්ශනය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි.

මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තා හට සම්මා සමාධිය යනු හේතු සම්පත් ඇති දෙයකි. සම්මා සමාධිය ඇති කල්හී සම්මා සමාධියෙන් යුක්ත ව වසන්නහුට යථාභූත ඥාන දර්ශනය යනු හේතු සම්පත් ඇති දෙයකි. යථාභූත ඥාන දර්ශනය ඇති කල්හී යථාභූත ඥාන දර්ශයෙන් යුක්ත ව වසන්නහුට අවබෝධයෙන් ම එපා වීම ත්, නොඇලීම ත් යනු හේතු සම්පත් ඇති දෙයකි. නිබ්බිදා විරාගය ඇති කල්හී නිබ්බිදා විරාගයෙන් යුක්ත ව වසන්නහුට විමුක්ති ඥාන දර්ශනය යනු හේතු සම්පත් ඇති දෙයකි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. අතුපතරින් හා කොළ දළුවලින් යුක්ත වූ වෘක්ෂයක් තිබෙන්නේ යම් පරිදි ද, එකල්හී ඒ වෘක්ෂයෙහි පොතු ත් වැඩීමට යයි. සිවිය ත් වැඩීමට යයි. එළය ත් වැඩීමට යයි. අරටුව ත් වැඩීමට යයි. එසෙයින් ම මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තා හට සම්මා සමාධිය යනු හේතු සම්පත් ඇති දෙයකි. ….(පෙ)…. විමුක්ති ඥාන දර්ශනය යනු හේතු සම්පත් ඇති දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

දුස්සීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M