අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.5.3. පඤ්ච ඉට්ඨධම්ම සුත්තං

5.1.5.3. සිතට ප්‍රිය උපදවන කරුණු පස ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය……

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, ලෝකයෙහි දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණු පසකි. ඒ කවර පසක් ද යත්;

ගෘහපතිය, ආයුෂ යනු ලෝකයෙහි දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණකි. වර්ණය යනු ලෝකයෙහි දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණකි. සැපය යනු ලෝකයෙහි දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණකි. පරිවාර සම්පත් යනු ලෝකයෙහි දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණකි. ස්වර්ගය යනු ලෝකයෙහි දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණකි.

ගෘහපතිය, මේ වනාහී ලෝකයෙහි දුර්ලභ වූ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප කරුණු පස යි.

ගෘහපතිය, ලෝකයෙහි දුර්ලභ වූ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප වූ මේ පස් වැදෑරුම් කාරණා යැදීම හේතු කොට ගෙන හෝ ප්‍රාර්ථනාව හේතු කොට ගෙන හෝ ලැබිය හැකි යැයි නොකියමි. ගෘහපතිය, ලෝකයෙහි දුර්ලභ වූ සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප වූ මේ පස් වැදෑරුම් කාරණා යැදීම හේතු කොට ගෙන හෝ ප්‍රාර්ථනාව හේතු කොට ගෙන හෝ ලැබිය හැකි නම් ලෝකයෙහි කවරෙක් නම් කවර දෙයකින් අඩුපාඩු ඇති ව සිටිත් ද?

1. ගෘහපතිය, ආයුෂ කැමති ආර්ය ශ්‍රාවකයා ආයුෂ වැඩිවීම පිණිස යදින්නට හෝ පතන්නට හෝ එබඳු දෙයකින් ආයුෂ කැමති වන්නට හෝ නුසුදුසු ය. ගෘහපතිය, ආයුෂ කැමති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ ආයුෂය වර්ධනය වන්නා වූ ප්‍රතිපදාව යි. ඔහු විසින් ආයුෂ වැඩෙන්නා වූ ප්‍රතිපදාව අනුගමනය කළ කල්හී එය ආයුෂ වැඩිවීම පිණිස හේතු වන්නේ ය. එවිට හේ දිව්‍ය හෝ වේවා මානුෂික හෝ වේවා ආයුෂයට හිමිකරුවෙක් වෙයි.

2. ගෘහපතිය, සිරුරු පැහැය කැමති ආර්ය ශ්‍රාවකයා සිරුරු පැහැය වැඩිවීම පිණිස යදින්නට හෝ පතන්නට හෝ එබඳු දෙයකින් සිරුරු පැහැය කැමති වන්නට හෝ නුසුදුසු ය. ගෘහපතිය, සිරුරු පැහැය කැමති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ සිරුරු පැහැය වර්ධනය වන්නා වූ ප්‍රතිපදාව යි. ඔහු විසින් සිරුරු පැහැය වැඩෙන්නා වූ ප්‍රතිපදාව අනුගමනය කළ කල්හී එය සිරුරු පැහැය වැඩිවීම පිණිස හේතු වන්නේ ය. එවිට හේ දිව්‍ය හෝ වේවා මානුෂික හෝ වේවා සිරුරු පැහැයට හිමිකරුවෙක් වෙයි.

3. ගෘහපතිය, සැප කැමති ආර්ය ශ්‍රාවකයා සැප වැඩිවීම පිණිස යදින්නට හෝ පතන්නට හෝ එබඳු දෙයකින් සැප කැමති වන්නට හෝ නුසුදුසු ය. ගෘහපතිය, සැප කැමති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ සැපය වර්ධනය වන්නා වූ ප්‍රතිපදාව යි. ඔහු විසින් සැප වැඩෙන්නා වූ ප්‍රතිපදාව අනුගමනය කළ කල්හී එය සැප වැඩිවීම පිණිස හේතු වන්නේ ය. එවිට හේ දිව්‍ය හෝ වේවා මානුෂික හෝ වේවා සැපයට හිමිකරුවෙක් වෙයි.

4. ගෘහපතිය, පිරිවර සම්පත් කැමති ආර්ය ශ්‍රාවකයා පිරිවර සම්පත් වැඩිවීම පිණිස යදින්නට හෝ පතන්නට හෝ එබඳු දෙයකින් පිරිවර සම්පත් කැමති වන්නට හෝ නුසුදුසු ය. ගෘහපතිය, පිරිවර සම්පත් කැමති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ පිරිවර සම්පත් වර්ධනය වන්නා වූ ප්‍රතිපදාව යි. ඔහු විසින් පිරිවර සම්පත් වැඩෙන්නා වූ ප්‍රතිපදාව අනුගමනය කළ කල්හී එය පිරිවර සම්පත් වැඩිවීම පිණිස හේතු වන්නේ ය. එවිට හේ දිව්‍ය හෝ වේවා මානුෂික හෝ වේවා පිරිවර සම්පත්වලට හිමිකරුවෙක් වෙයි.

5. ගෘහපතිය, ස්වර්ගය කැමති ආර්ය ශ්‍රාවකයා ස්වර්ගය පිණිස යදින්නට හෝ පතන්නට හෝ එබඳු දෙයකින් ස්වර්ගය කැමති වන්නට හෝ නුසුදුසු ය. ගෘහපතිය, ස්වර්ගය කැමති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ ස්වර්ගය පිණිස පවතින්නා වූ ප්‍රතිපදාව යි. ඔහු විසින් ස්වර්ගය පිණිස පවතින්නා වූ ප්‍රතිපදාව අනුගමනය කළ කල්හී එය ස්වර්ගය පිණිස හේතු වන්නේ ය. එවිට හේ ස්වර්ගයන්ට හිමිකරුවෙක් වෙයි.

(ගාථා)

1. ආයුෂ, වර්ණය, පරිවාර සම්පත්, කීර්තිය, ස්වර්ගය, උසස් කුලයෙහි ඉපදීම යනාදිය උදාර වූ කාම සම්පත්වලට ඇලුම් කොට පතන්නවුන් විසින්,

2. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්හි අප්‍රමාදී ව යෙදිය යුතු යැයි නුවණැත්තෝ ප්‍රශංසා කරති. අප්‍රමාදී නුවණැත්තා මෙලොව පරලොව දෙකෙහි ම යහපත අත්පත් කරගන්නේ ය.

3. මෙලොව දී ලැබිය හැකි යම් යහපතක් ඇද්ද, පරලොව දී ලැබිය හැකි යම් යහපතක් ඇද්ද, නුවණින් එඩිතර වූ හේ ඒ උභයාර්ථ ප්‍රතිලාභය ලබන හෙයින් නුවණැත්තා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පඤ්ච ඉට්ඨධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M