සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල හෙවත් සැප බහුල ශ්‍රමණයාණෝ යැයි කියනු ලැබේ. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ සිවුරු පරිහරණය කරයි. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි. ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ පිණ්ඩපාතය පරිහරණය කරයි. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි. ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ සෙනසුන් පරිහරණය කරයි. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි. ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පරිහරණය කරයි. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි.
යම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එක් ව වාසය කරයි ද, ඒ භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා මනාප වූ කාය කර්මයන් බහුල ව පවත්වන්නාහු ය. අමනාප දේ අල්ප වශයෙනි. මනාප වූ වචී කර්මයන් බහුල ව පවත්වන්නාහු ය. අමනාප දේ අල්ප වශයෙනි. මනාප වූ මනෝ කර්මයන් බහුල ව පවත්වන්නාහු ය. අමනාප දේ අල්ප වශයෙනි. මනාප වූ උපහාරයන් බහුල ව උපහාර කරති. අමනාප දේ අල්ප වශයෙනි.
යම්කිසි වේදනාවෝ හටගනිත් නම් එනම්, පිතෙන් හටගත් විඳීම් වේවා, සෙමෙන් හටගත් විඳීම් වේවා, වාතයෙන් හටගත් විඳීම් වේවා, තුන්දොස් කිපීමෙන් හටගත් විඳීම් වේවා, ඍතු විපර්යාසයෙන් හටගත් විඳීම් වේවා, විෂම පරිහරණයෙන් හටගත් විඳීම් වේවා, උපක්‍රමයෙන් හටගත් විඳීම් වේවා, කර්ම විපාකයෙන් හටගත් විඳීම් වේවා, ඒ වේදනා ඒ භික්ෂුවට හටගන්නේ බහුල වශයෙන් නොවෙයි. අල්ප වූ ආබාධ ඇත්තේ වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී ලැබෙන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. බොහෝ සේ ලබන්නේ වෙයි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල හෙවත් සැප බහුල ශ්‍රමණයාණෝ යැයි කියනු ලැබේ.
මහණෙනි, යමෙකු අරභයා ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාලයෙකි යි මැනැවින් කියන්නේ නම් මහණෙනි, ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාලයෙකි යි කියා මනාකොට කියනු ලබන්නේ මා අරභයා ය.
මහණෙනි, මම් වනාහී ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ සිවුරු පරිහරණය කරමි. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි. ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ පිණ්ඩපාතය ….(පෙ)…. සෙනසුන් ….(පෙ)…. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි. ඇරයුම් කරනු ලබන්නේ ම බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පරිහරණය කරමි. ඇරයුම් නොලබන්නේ නම් අල්ප වශයෙනි.
යම් භික්ෂූන් සමඟ එක් ව වාසය කරම් ද, ඒ මා හට ඔවුහු මනාප වූ කාය කර්මයන් බහුල ව පවත්වන්නාහු ය. අමනාප දේ අල්ප වශයෙනි. මනාප වූ වචී කර්මයන් බහුල ව පවත්වන්නාහු ය. අමනාප දේ අල්ප වශයෙනි. මනාප වූ මනෝ කර්මයන් බහුල ව පවත්වන්නාහු ය. අමනාප දේ අල්ප වශයෙනි. මනාප වූ උපහාරයන් බහුල ව උපහාර කරති. අමනාප දේ අල්ප වශයෙනි.
යම්කිසි වේදනාවෝ හටගනිත් නම් එනම්, පිතෙන් හටගත් විඳීම් වේවා, සෙමෙන් හටගත් විඳීම් වේවා, වාතයෙන් හටගත් විඳීම් වේවා, තුන්දොස් කිපීමෙන් හටගත් විඳීම් වේවා, ඍතු විපර්යාසයෙන් හටගත් විඳීම් වේවා, විෂම පරිහරණයෙන් හටගත් විඳීම් වේවා, උපක්‍රමයෙන් හටගත් විඳීම් වේවා, කර්ම විපාකයෙන් හටගත් විඳීම් වේවා, ඒ වේදනා ඒ මා හට හටගන්නේ බහුල වශයෙන් නොවෙයි. අල්ප වූ ආබාධ ඇත්තේ වෙමි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී ලැබෙන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. බොහෝ සේ ලබන්නේ වෙමි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙමි.
මහණෙනි, යමෙකු අරභයා ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාලයෙකි යි මැනැවින් කියන්නේ නම් මහණෙනි, ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාලයෙකි යි කියා මනාකොට කියනු ලබන්නේ මා අරභයා ය.
සාදු! සාදු!! සාදු!!!
සමණ සුඛුමාල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M