අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.4.5. පඨම පත්ථනා සුත්තං

5.3.4.5. ප්‍රාර්ථනාව ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔටුණු පළන් ක්ෂත්‍රිය රජුගේ අංග පසකින් සමන්විත වූ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා රාජ්‍යය ප්‍රාර්ථනා කරයි. ඒ කවර පස් අංගයකින් ද යත්;

මහණෙනි, මෙහිලා ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන උභය පාර්ශවයෙන් ම සුජාත උපතක් ලැබුවේ වෙයි. පිරිසිදු මව් කුසකින් උපන්නේ වෙයි. සත්වෙනි මී මුතු පරම්පරාව තෙක් ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේ උපක්‍රෝශ නොකරන ලද්දේ වෙයි.

අභිරූපවත් වූයේ වෙයි. සොඳුරු දැකුම් ඇත්තේ වෙයි. ප්‍රසාදය ඇති කරන්නේ වෙයි. උතුම් පැහැපත් බවින් යුක්ත වූයේ වෙයි.

මව්පියන් හට ප්‍රියමනාප වූයේ වෙයි.

නිගම ජනපදවාසීන් හට ප්‍රියමනාප වූයේ වෙයි.

ඔටුණු පළන් ක්ෂත්‍රිය රජුන්ගේ යම් ඒ ශිල්පයෝ ඇද්ද, හස්ති ශිල්පය වේවා, අශ්ව ශිල්පය වේවා, රථ ශිල්පය වේවා, ධනු ශිල්පය වේවා, කඩු ශිල්පය වේවා, එහිලා පිරිපුන් ව හික්මුණේ වෙයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘මම් වනාහී මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන උභය පාර්ශවයෙන් ම සුජාත උපතක් ලැබුවේ වෙමි. පිරිසිදු මව් කුසකින් උපන්නේ වෙමි. සත්වෙනි මී මුතු පරම්පරාව තෙක් ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේ උපක්‍රෝශ නොකරන ලද්දේ වෙමි. කුමක් නිසා මම් රාජ්‍යය නොපතන්නෙම් ද?

මම් වනාහී අභිරූපවත් වූයේ වෙමි. සොඳුරු දැකුම් ඇත්තේ වෙමි. ප්‍රසාදය ඇති කරන්නේ වෙමි. උතුම් පැහැපත් බවින් යුක්ත වූයේ වෙමි. කුමක් නිසා මම් රාජ්‍යය නොපතන්නෙම් ද?

මම් වනාහී මව්පියන් හට ප්‍රියමනාප වූයේ වෙමි. කුමක් නිසා මම් රාජ්‍යය නොපතන්නෙම් ද?

මම් වනාහී නිගම ජනපදවාසීන් හට ප්‍රියමනාප වූයේ වෙමි. කුමක් නිසා මම් රාජ්‍යය නොපතන්නෙම් ද?

මම් වනාහී ඔටුණු පළන් ක්ෂත්‍රීය රජුන්ගේ යම් ඒ ශිල්පයෝ ඇද්ද, හස්ති ශිල්පය වේවා, අශ්ව ශිල්පය වේවා, රථ ශිල්පය වේවා, ධනු ශිල්පය වේවා, කඩු ශිල්පය වේවා, එහිලා පිරිපුන් ව හික්මුණේ වෙමි. කුමක් නිසා මම් රාජ්‍යය නොපතන්නෙම් දැ’ යි.

මහණෙනි, ඔටුණු පළන් ක්ෂත්‍රීය රජුගේ මේ අංග පසින් සමන්විත වූ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා රාජ්‍යය ප්‍රාර්ථනා කරයි.

එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය ය වූ අරහත්වය ප්‍රාර්ථනා කරයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සැදැහැවත් වූයේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

අල්පාබාධ ඇත්තේ වෙයි. අල්ප රෝග ඇත්තේ වෙයි. ඉතා ශීත ත් නොවූ, ඉතා උෂ්ණ ත් නොවූ සම සේ ආහාර පැසවන මධ්‍යම වූ ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ග්‍රහණියකින් යුක්ත වූයේ වෙයි.

වංචා නැත්තේ වෙයි. මායා නැත්තේ වෙයි. ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ තමාගේ සැබෑ ස්වභාවය හෙළි දරව් කරන්නේ වෙයි.

අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි.

ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘මම් වනාහී සැදැහැවත් වූයේ වෙමි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙමි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී අල්පාබාධ ඇත්තේ වෙමි. අල්ප රෝග ඇත්තේ වෙමි. ඉතා ශීත ත් නොවූ, ඉතා උෂ්ණ ත් නොවූ සම සේ ආහාර පැසවන මධ්‍යම වූ ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ග්‍රහණියකින් යුක්ත වූයේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී වංචා නැත්තේ වෙමි. මායා නැත්තේ වෙමි. ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ තමාගේ සැබෑ ස්වභාවය හෙළි දරව් කරන්නේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී අරඹන ලද වීරිය ඇත්තේ වෙමි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී ප්‍රඥාවන්ත වෙමි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙමි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් දැ’ යි.

මහණෙනි, මේ පංච ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය ප්‍රාර්ථනා කරයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම පත්ථනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M