සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත වර්ණයෙන් යුතුව මුළු දෙව්රම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සයක් පවතින්නේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;
ශාස්තෘ ගෞරවය ඇති බව ය. ධර්ම ගෞරවය ඇති බව ය. සංඝ ගෞරවය ඇති බව ය. ශික්ෂා ගෞරවය ඇති බව ය. කීකරු කම ඇති බව ය. කලණ මිතුරන් ඇති බව ය.
ස්වාමීනී, භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සය පවතින්නේ ය.” ඒ දෙවියා මෙය පැවසුවේ ය. ශාස්තෘන් වහන්සේ එය පිළිගත් සේක.
එකල්හී ඒ දෙවියා ශාස්තෘන් වහන්සේ මාගේ වචනය අනුමත කළ සේකැයි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
ඉක්බිති ඒ රෑ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මේ රැයෙහි එක්තරා දෙවියෙක් මනස්කාන්ත වර්ණයෙන් යුතුව මුළු දෙව්රම බබුළුවාගෙන මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි ඒ දෙවියා මා හට මෙය සැළ කළේ ය.
‘ස්වාමීනී, භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සයක් පවතින්නේ ය. ඒ කවර කරුණු සයක් ද යත්
ශාස්තෘ ගෞරවය ඇති බව ය. ධර්ම ගෞරවය ඇති බව ය. සංඝ ගෞරවය ඇති බව ය. ශික්ෂා ගෞරවය ඇති බව ය. කීකරු කම ඇති බව ය. කලණ මිතුරන් ඇති බව ය.
ස්වාමීනී, භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ කරුණු සය පවතින්නේ ය.’
මහණෙනි, ඒ දෙවියා මෙය පැවසුවේ ය. මෙය පවසා මට වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.”
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් වදාරණ ලද මෙකරුණ මම මේ අයුරින් විස්තර වශයෙන් අර්ථය දනිමි.
ස්වාමීනී, මෙහිලා භික්ෂුව තමා ත් ශාස්තෘ ගෞරවයෙන් යුක්ත වෙයි. ශාස්තෘ ගෞරවය පිළිබඳ ව වර්ණනා කරන්නේ ද වෙයි. ශාස්තෘ ගෞරවය නැති යම්කිසි අන්‍ය භික්ෂූහු වෙත් නම්, ඔවුන් ද ශාස්තෘ ගෞරවයෙහි සමාදන් කරවයි. ශාස්තෘ ගෞරවය ඇති අන්‍ය භික්ෂූහු වෙත් නම් ඔවුන් පිළිබඳ ව ත් සුදුසු අවස්ථාවෙහි තිබෙන්නා වූ ම සත්‍ය වූ ගුණ කියයි.
තමා ත් ධර්ම ගෞරවයෙන් යුක්ත වෙයි. ….(පෙ)…. සංඝ ගෞරවයෙන් යුක්ත වෙයි. ….(පෙ)…. ශික්ෂා ගෞරවයෙන් යුක්ත වෙයි. ….(පෙ)…. කීකරුකමෙන් යුක්ත වෙයි. ….(පෙ)…. කලණ මිතුරන් ඇත්තේ වෙයි. කලණ මිතුරන් ඇති බව පිළිබඳ ව වර්ණනා කරන්නේ ද වෙයි. කලණ මිතුරන් නැති යම්කිසි අන්‍ය භික්ෂූහු වෙත් නම්, ඔවුන් ද කලණ මිතුරන් කෙරෙහි සමාදන් කරවයි. කලණ මිතුරන් ඇති අන්‍ය භික්ෂූහු වෙත් නම් ඔවුන් පිළිබඳ ව ත් සුදුසු අවස්ථාවෙහි තිබෙන්නා වූ ම සත්‍ය වූ ගුණ කියයි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් වදාරණ ලද මෙකරුණෙහි අර්ථය මම විස්තර වශයෙන් මෙසේ දනිමි.”
“සාදු! සාදු! සාරිපුත්තයෙනි. සාරිපුත්තයෙනි, මා විසින් කෙටියෙන් පවසන ලද කරුණෙහි අර්ථය ඔබ විසින් මෙසේ විස්තර වශයෙන් දන්නෙහි මැනැවි.
සාරිපුත්තයෙනි, මෙහිලා භික්ෂුව තමා ත් ශාස්තෘ ගෞරවයෙන් යුක්ත වෙයි. ශාස්තෘ ගෞරවය පිළිබඳ ව වර්ණනා කරන්නේ ද වෙයි. ශාස්තෘ ගෞරවය නැති යම්කිසි අන්‍ය භික්ෂූහු වෙත් නම්, ඔවුන් ද ශාස්තෘ ගෞරවයෙහි සමාදන් කරවයි. ශාස්තෘ ගෞරවය ඇති අන්‍ය භික්ෂූහු වෙත් නම් ඔවුන් පිළිබඳ ව ත් සුදුසු අවස්ථාවෙහි තිබෙන්නා වූ ම සත්‍ය වූ ගුණ කියයි.
තමා ත් ධර්ම ගෞරවයෙන් යුක්ත වෙයි. ….(පෙ)…. සංඝ ගෞරවයෙන් යුක්ත වෙයි. ….(පෙ)…. ශික්ෂා ගෞරවයෙන් යුක්ත වෙයි. ….(පෙ)…. කීකරුකමෙන් යුක්ත වෙයි. ….(පෙ)…. කලණ මිතුරන් ඇත්තේ වෙයි. කලණ මිතුරන් ඇති බව පිළිබඳ ව වර්ණනා කරන්නේ ද වෙයි. කලණ මිතුරන් නැති යම්කිසි අන්‍ය භික්ෂූහු වෙත් නම්, ඔවුන් ද කලණ මිතුරන් කෙරෙහි සමාදන් කරවයි. කලණ මිතුරන් ඇති අන්‍ය භික්ෂූහු වෙත් නම් ඔවුන් පිළිබඳ ව ත් සුදුසු අවස්ථාවෙහි තිබෙන්නා වූ ම සත්‍ය වූ ගුණ කියයි.
සාරිපුත්තයෙනි, මා විසින් කෙටියෙන් පවසන ලද කරුණෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දත යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
දේවතා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M