අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.1.10. කාරණ්ඩව සුත්තං

8.1.1.10. කසළයා ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ චම්පායෙහි ගග්ගරා පොකුණු තෙර වැඩවසන සේක. එසමයෙහි භික්ෂූහු එක් භික්ෂුවකට ඇවතකින් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව අන්‍ය භික්ෂූන් විසින් ඇවැතින් චෝදනා කරද්දී වෙන වෙන කරුණුවලින් එය වසයි. බාහිර කතාවක් ඇදගනියි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි, ඔය පුද්ගලයා නෙරපව්. මහණෙනි, ඔය පුද්ගලයා ව නෙරපව්. මහණෙනි, ඔය පුද්ගලයා නෙරපිය යුතු කෙනෙකි. ඔබ විසින් කුමකට නම් අනුන්ගේ දරුවෙකුට වෙහෙසෙව් ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳු දෙයක් වෙයි. එනම් ඉදිරියට යාම, පෙරළා ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම, අන්‍ය වූ සොඳුරු භික්ෂූන් යම් බඳු ද, එබඳු ය. ඒ ඔහුගේ ආපත්තිය නොදක්නා තෙක් පමණි. යම් විටක භික්ෂූහු ඔහුගේ ආපත්තියක් දකිත් ද, එවිට ඔහු ව මෙසේ හඳුනාගනිති. ‘මොහු ශ්‍රමණ දූෂකයෙක් නොවැ. ශ්‍රමණ ප්‍රලාපයෙක් නොවැ. ශ්‍රමණ කසළයෙක් නොවැ’ යි. මෙසේ ඔහු හඳුනාගෙන බැහැරට නෙරපති. ඒ මක් නිසා ද යත්, අන්‍ය වූ සොඳුරු භික්ෂූහු මොහුගෙන් දූෂණයට ලක් නොවේවා කියා ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. සාරයට වැඩුණු යව කෙතක යව දූෂණය කරන, යව ප්‍රලාප වූ, යව කසලයක් හටගනියි. සැබෑ යව මුල් යම් සේ ද, යව කසලයාගේ මුල ත් එබඳු ම ය. සැබෑ යව කඳ යම් සේ ද, යව කසලයාගේ කඳ ත් එසේ ය. සැබෑ යව පත්‍ර යම් සේ ද, යව කසලයාගේ ත් පත්‍ර එසේ ය. යම්තාක් යව කසල ගසෙහි පීදීම නොවෙයි ද, ඒ තාක් යව කසලයා පවතියි. යම් විටක යව කසල ගස පීදෙයි ද, එවිට මෙසේ හඳුනා ගනිති. ‘මේ යව දූෂණයකි. බොරු යව ගසකි. යව කසලයෙකි’ යි. මෙසේ ඒ යව කසල හඳුනා මුල සහිත ව ම උපුටා යව කෙතෙන් බැහැරට වීසි කරති. ඒ මක් නිසා ද යත්, අන්‍ය වූ සොඳුරු යව ගස් දූෂණය නොවේවා කියා ය.

එසෙයින් ම මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳු දෙයක් වෙයි. එනම් ඉදිරියට යාම, පෙරළා ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම, අන්‍ය වූ සොඳුරු භික්ෂූන් යම් බඳු ද, එබඳු ය. ඒ ඔහුගේ ආපත්තිය නොදක්නා තෙක් පමණි. යම් විටක භික්ෂූහු ඔහුගේ ආපත්තියක් දකිත් ද, එවිට ඔහු ව හඳුනාගනිති. ‘මොහු ශ්‍රමණ දූෂකයෙක් නොවැ. ශ්‍රමණ ප්‍රලාපයෙක් නොවැ. ශ්‍රමණ කසළයෙක් නොවැ’ යි. මෙසේ ඔහු හඳුනාගෙන බැහැරට නෙරපති. ඒ මක් නිසා ද යත්, අන්‍ය වූ සොඳුරු භික්ෂූහු මොහුගෙන් දූෂණයට ලක් නොවේවා කියා ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. මහත් වූ ධාන්‍ය රාශියක් පොළන කල්හී සාරවත් වූ දැඩි ධාන්‍ය ඇද්ද, ඒවා එක් පසෙක ගොඩක් වෙයි. යම් දුර්වල වූ බොල් වූ ධාන්‍ය ඇද්ද, සුළඟ ඒවා එක පසකට ඇද දමයි. කෙත් හිමියෝ සුළං කුල්ල ගෙන ඒ බොල් ධාන්‍ය බෙහෙවින් ම බැහැරට දමති. ඒ මක් නිසා ද යත්, අන්‍ය වූ සොඳුරු ධාන්‍ය දූෂණය නොවේවා කියා ය.

එසෙයින් ම මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳු දෙයක් වෙයි. එනම් ඉදිරියට යාම, පෙරළා ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම, අන්‍ය වූ සොඳුරු භික්ෂූන් යම් බඳු ද, එබඳු ය. ඒ ඔහුගේ ආපත්තිය නොදක්නා තෙක් පමණි. යම් විටක භික්ෂූහු ඔහුගේ ආපත්තියක් දකිත් ද, එවිට ඔහු ව හඳුනාගනිති. ‘මොහු ශ්‍රමණ දූෂකයෙක් නොවැ. ශ්‍රමණ ප්‍රලාපයෙක් නොවැ. ශ්‍රමණ කසළයෙක් නොවැ’ යි. මෙසේ ඔහු හඳුනාගෙන බැහැරට නෙරපති. ඒ මක් නිසා ද යත්, අන්‍ය වූ සොඳුරු භික්ෂූහු මොහුගෙන් දූෂණයට ලක් නොවේවා කියා ය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. වතුර පිහිල්ලකින් ප්‍රයෝජන ඇති පුරුෂයෙක් තියුණු පොරොවක් ගෙන වනයට යයි. ඔහු ඒ හැම රුකක් ම පොරොවෙන් තට්ටු කොට බලයි. එහිදී දැඩි අරටුව ඇති සාරවත් රුක්වලට පොරොවෙන් තට්ටු කරද්දී කර්කශ ව නද දෙයි. ඇතුළ කුණු වී, තෙත් වී හටගත් කසල ඇති යම් රුක් ඇද්ද, ඒවාට තට්ටු කරන විට දැදුරු හඬ නගයි. එවිට ඒ ගස මුලින් ම සිඳියි. මුල සිඳ අගත් සිඳියි. අග සිඳ ඇතුළ මැනැවින් පිරිසිදු කොට වතුර පිහිල්ලට යොදයි.

එසෙයින් ම මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳු දෙයක් වෙයි. එනම් ඉදිරියට යාම, පෙරළා ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, සඟළ පා සිවුරු දැරීම, අන්‍ය වූ සොඳුරු භික්ෂූන් යම් බඳු ද, එබඳු ය. ඒ ඔහුගේ ආපත්තිය නොදක්නා තෙක් පමණි. යම් විටක භික්ෂූහු ඔහුගේ ආපත්තියක් දකිත් ද, එවිට ඔහු ව හඳුනාගනිති. ‘මොහු ශ්‍රමණ දූෂකයෙක් නොවැ. ශ්‍රමණ ප්‍රලාපයෙක් නොවැ. ශ්‍රමණ කසළයෙක් නොවැ’ යි. මෙසේ ඔහු හඳුනාගෙන බැහැරට නෙරපති. ඒ මක් නිසා ද යත්, අන්‍ය වූ සොඳුරු භික්ෂූහු මොහුගෙන් දූෂණයට ලක් නොවේවා කියා ය.

(ගාථා)

1. මොහු පවිටු ආශා ඇති කෙනෙකි, ක්‍රෝධ කරන්නෙකි, ගුණ මකුවෙකි, දැඩි සිත් ඇත්තෙකි, එකට එක කරන්නෙකි, ඊර්ෂ්‍යා කරන්නෙකි, මසුරෙකි, කෛරාටිකයෙකි කියා ඇසුරු කිරීමෙන් දැන ගනිව්.

2. පවිටු දෘෂ්ටි ඇත්තේ, ශික්ෂා පදයන් කෙරෙහි ආදර නැත්තේ, ජනයා ඉදිරියෙහි ශ්‍රමණයෙකු ලෙසින් මොළොක් බස් පවසයි. රහසේ පව් කරයි.

3. වක්‍ර කටයුතු ඇත්තේ, බොරු කියන්නේ වෙයි. ඔහුගේ සැබෑ ස්වභාවය හඳුනාගෙන හැමදෙනා සමඟි ව ඔහු ව නෙරපා හරිව්.

4. ශ්‍රමණ කාරණ්ඩයා ව නෙරපා හරව්. ශ්‍රමණ කසලයා ව බැහැර කරව්. අශ්‍රමණයෙකු ව සිටිය දී ශ්‍රමණයෙක් ය යන මාන්නයෙන් සිටින බොරු ශ්‍රමණයා බැහැර ලව්.

5. පවිටු ආශා ඇති, පවිටු ඇවතුම් පැවතුම් ඇති පුද්ගලයන් නෙරපා හැර එළඹ සිටි සිහියෙන් යුතු පිරිසිදු වූවාහු පිරිසිදු වූ සංඝයා සමඟ වාසය කරව්. එසේ සමඟි ව තැනට සුදුසු නුවණින් යුතුව සසර දුක් අවසන් කරව්.

සාදු! සාදු!! සාදු!!!

කාරණ්ඩව සූත්‍රය නිමා විය.

පළමුවෙනි මෙත්තා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

මෙත්තා සූත්‍රය, පඤ්ඤා සූත්‍රය, පිය සූත්‍ර දෙක, ලෝක විපත්ති සූත්‍ර දෙක, දේවදත්ත සූත්‍රය, උත්තර සූත්‍රය, නන්ද සූත්‍රය සහ කාරණ්ඩව සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M