අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.2.2. සීහසේනාපති සුත්තං

8.1.2.2. සීහ සේනාපතිට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු රැස්වීම් ශාලාවෙහි රැස් ව නොයෙක් අයුරින් බුදුරජුන්ගේ ගුණ කියති. ධර්මයෙහි ගුණ කියති. සංඝයාගේ ගුණ කියති.

එසමයෙහි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සීහ සේනාපති තෙමේ ඒ පිරිස් අතර සිටියේ ය. ඉක්බිති සීහ සේනාපති හට මෙය සිතුණේ ය.

‘නිසැක වශයෙන් ම හෙතෙමේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු කෙනෙක් විය යුතුයි. මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීවරු සන්ථාගාරයෙහි රැස් ව නොයෙක් අයුරින් බුදු ගුණ කියන්නේ ත්, දහම් ගුණ කියන්නේ ත්, සඟ ගුණ කියන්නේ ත් ඒ අයුරින් නොවැ. මම ත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් බැහැදකින්නට යන්නෙම් නම් යහපති’ යි.

ඉක්බිති සීහ සේනාපති තෙමේ නිගණ්ඨනාතපුත්‍ර වෙත ගියේ ය. ගොස් නිගණ්ඨ නාතපුත්‍රයා හට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැදකිනු පිණිස එළඹෙන්නට කැමැත්තෙමි.”

“මොනවා සීහයෙනි? ඔබ වනාහී ක්‍රියාවාදී කෙනෙක් නොවැ. අක්‍රියාවාදී ශ්‍රමණ ගෞතමයන් දැකීමට එළඹෙන්නෙහි? සීහයෙනි, ශ්‍රමණ ගෞතමයෝ අක්‍රියවාදී කෙනෙකි. ක්‍රියාවන් නොකිරීම පිණිස දහම් දෙසති. ශ්‍රාවකයන් ව හික්මවන්නේ ත් ඒ අයුරින් නොවැ.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යෑමට සීහ සෙන්පතියාගේ යම් උත්සාහයක් තිබුණේ ද, එය සංසිඳී ගියේ ය.

දෙවෙනි වතාවට ද බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු රැස්වීම් ශාලාවෙහි රැස් ව නොයෙක් අයුරින් බුදුරජුන්ගේ ගුණ කියති. ධර්මයෙහි ගුණ කියති. සංඝයාගේ ගුණ කියති.

දෙවෙනි වතාවට ද සීහ සේනාපති හට මෙය සිතුණේ ය.

‘නිසැක වශයෙන් ම හෙතෙමේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු කෙනෙක් විය යුතුයි. මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීවරු සන්ථාගාරයෙහි රැස් ව නොයෙක් අයුරින් බුදු ගුණ කියන්නේ ත්, දහම් ගුණ කියන්නේ ත්, සඟ ගුණ කියන්නේ ත් ඒ අයුරින් නොවැ. මම ත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් බැහැදකින්නට යන්නෙම් නම් යහපති.’

ඉක්බිති සීහ සේනාපති තෙමේ නිගණ්ඨනාතපුත්‍ර වෙත ගියේ ය. ගොස් නිගණ්ඨ නාතපුත්‍රයා හට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැදකිනු පිණිස එළඹෙන්නට කැමැත්තෙමි.”

“මොනවා සීහයෙනි? ඔබ වනාහී ක්‍රියාවාදී කෙනෙක් නොවැ. අක්‍රියාවාදී ශ්‍රමණ ගෞතමයන් දැකීමට එළඹෙන්නෙහි? සීහයෙනි, ශ්‍රමණ ගෞතමයෝ අක්‍රියවාදී කෙනෙකි. ක්‍රියාවන් නොකිරීම පිණිස දහම් දෙසති. ශ්‍රාවකයන් ව හික්මවන්නේ ත් ඒ අයුරින් නොවැ.”

දෙවෙනි වතාවට ද භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යෑමට සීහ සෙන්පතියාගේ යම් උත්සාහයක් තිබුණේ ද, එය සංසිඳී ගියේ ය.

තුන්වෙනි වතාවට ද බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු රැස්වීම් ශාලාවෙහි රැස් ව නොයෙක් අයුරින් බුදුරජුන්ගේ ගුණ කියති. ධර්මයෙහි ගුණ කියති. සංඝයාගේ ගුණ කියති.

තුන්වෙනි වතාවට ද සීහ සේනාපති හට මෙය සිතුණේ ය.

‘නිසැක වශයෙන් ම හෙතෙමේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු කෙනෙක් විය යුතුයි. මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීවරු සන්ථාගාරයෙහි රැස් ව නොයෙක් අයුරින් බුදු ගුණ කියන්නේ ත්, දහම් ගුණ කියන්නේ ත්, සඟ ගුණ කියන්නේ ත් ඒ අයුරින් නොවැ. කිම? මා කියා ගිය ත්, නොකියා ගිය ත් මේ නිගණ්ඨයෝ මට කුමක් කරන්න ද? එහෙයින් නිගණ්ඨයින්ට නොකියා ම මම ත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන් බැහැදකින්නට යන්නෙම් නම් යහපති.’

ඉක්බිති සීහ සේනාපති තෙමේ රථ පන්සියයකින් පමණ යුතුව දවල් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට විශාලා මහනුවරින් නික්ම ගියේ ය. යානයෙන් යා හැකි තාක් ගොස් යානයෙන් බැස පා ගමනින් ම ආරාමයට පිවිසියේ ය. ඉක්බිති සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියවාදියෙකි, නොකිරීම පිණිස දහම් දෙසයි, එයිනුත් ශ්‍රාවකයන් හික්මවයි’ යනුවෙන් මා විසින් අසන ලද්දේ ය. ස්වාමීනී, යමෙක් මට මෙසේ කීවාහු ද, එනම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියවාදියෙකි, නොකිරීම පිණිස දහම් දෙසයි, එයිනුත් ශ්‍රාවකයන් හික්මවයි’ යනුවෙන්, ස්වාමීනී, කිම, ඔවුන් ඒ පවසන්නේ වදාළ දෙයක් ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකිරීමක් ද? ධර්මයට අනුකූල වූ ප්‍රකාශයක් ද? කරුණු සහිත ව ඉදිරිපත් කළ විට ගැරහීමකට නොඑන දෙයක් ද? ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා කිරීමට නොකැමැත්තෙමු.”

1. “සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අකිරියවාදියෙක් ය. ක්‍රියා නොකිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

2. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ කිරියවාදියෙක් ය. ක්‍රියා කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

3. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාදියෙක් ය. විනාශය පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

4. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජේගුච්ඡියෙක් ය. පිළිකුල් කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

5. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ වේනයිකයෙක් ය. නැසීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

6. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සියෙක් ය. තැවීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

7. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගබ්භයෙක් ය. ගැබෙන් බැහැර වීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

8. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්සාසකයෙක් ය. අස්වැසීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමයක් ඇත්තේ ය.

1. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අකිරියවාදියෙක් ය. ක්‍රියා නොකිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී නොකිරීමක් ගැන කියමි. කායික දුෂ්චරිතය ත්, වාචසික දුෂ්චරිතය ත්, මානසික දුෂ්චරිතය ත් නොයෙක් පාපී අකුසල් ධර්මයනුත් නොකිරීම ගැන කියමි. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අකිරියවාදියෙක් ය. ක්‍රියා නොකිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

2. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ කිරියවාදියෙක් ය. ක්‍රියා කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී කිරීමක් ගැන කියමි. කායික සුචරිතය ත්, වාචසික සුචරිතය ත්, මානසික සුචරිතය ත් නොයෙක් කුසල් දහම් කිරීමක් ගැන කියමි. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ කිරියවාදියෙක් ය. ක්‍රියා කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

3. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාදියෙක් ය. විනාශය පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී විනාශ කිරීමක් ගැන කියමි. රාගයේ ත්, ද්වේෂයේ ත්, මෝහයේ ත්, නොයෙක් පාපී අකුසල් දහම්වල විනාශ කිරීමක් ගැන කියමි. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාදියෙක් ය. විනාශ කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

4. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජේගුච්ඡියෙක් ය. පිළිකුල් කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී පිළිකුල් කරමි. කායික දුෂ්චරිතය ත්, වාචසික දුෂ්චරිතය ත්, මානසික දුෂ්චරිතය ත් නොයෙක් පාපී අකුසල් දහම් ඇතිකරගැනීම ත් පිළිකුල් කරමි. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ජේගුච්ඡියෙක් ය. පිළිකුල්කිරීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

5. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ වේනයිකයෙක් ය. නැසීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී නැසීම පිණිස දහම් දෙසමි. රාගයේ ත්, ද්වේෂයේ ත්, මෝහයේ ත්, නොයෙක් පාපී අකුසල් දහම්වලත් නැසීම පිණිස දහම් දෙසමි. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ වේනයිකයෙක් ය. නැසීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

6. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සියෙක් ය. තැවීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී කායික දුෂ්චරිතය ත්, වාචසික දුෂ්චරිතය ත්, මානසික දුෂ්චරිතය ත් යන පාපී අකුසල ධර්මයන් තැවිය යුතු යැයි කියමි. සීහයෙනි, යමෙකුට තැවිය යුතු පාපී අකුසල් දහම් ඇද්ද, ඒවා ප්‍රහීණ වී ඇත්නම්, මුලින් ම සිඳී ඇත්නම්, කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්නම්, අභාවයට පත් වී ඇත්නම්, යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්නම්, මම ඔහුට තපස්සී යැයි කියමි. සීහයෙනි, තථාගතයන් හට තැවිය යුතු පාපී අකුසල් දහම් ප්‍රහීණ වී ඇත්තේ ය. මුලින් ම සිඳී ඇත්තේ ය. කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්තේ ය. අභාවයට පත් වී ඇත්තේ ය. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්තේ ය. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සියෙක් ය. තැවීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

7. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගබ්භයෙක් ය. ගර්භයෙන් බැහැර වීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, යමෙකුට නැවත මව්කුසක නිදන, පුනර්භවයක උපතක් ඇද්ද, එය ප්‍රහීණ වී ඇත්නම්, මුලින් ම සිඳී ඇත්නම්, කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්නම්, අභාවයට පත් වී ඇත්නම්, යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්නම්, මම ඔහුට අපගබ්භ යැයි කියමි. සීහයෙනි, තථාගතයන් හට මත්තෙහි මව්කුසක නිදන, පුනර්භවයෙහි ලබන උපත ප්‍රහීණ වී ඇත්තේ ය. මුලින් ම සිඳී ඇත්තේ ය. කරටිය සුන් තල් ගසක් මෙන් වී ඇත්තේ ය. අභාවයට පත් වී ඇත්තේ ය. යළි කිසිදා නූපදින ස්වභාවයට පත් වී ඇත්තේ ය. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගබ්භයෙක් ය. ගර්භයෙන් බැහැර වීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.

8. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ආස්වාසයෙක් ය. අස්වැසීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය කුමක් ද? සීහයෙනි, මම වනාහී පරම අස්වැසිල්ලෙන් අස්වැසී සිටින්නෙක්මි. අස්වැසීම පිණිස ධර්මය ද දේශනා කරමි. එයින් ම ශ්‍රාවකයනුත් හික්මවමි. සීහයෙනි, යම් ක්‍රමයකින් මනාකොට කිව යුතු නම් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ආස්වාසයෙක් ය. අස්වැසීම පිණිස දහම් දෙසන්නෙකි. එයින් ම ශ්‍රාවකයන් ව හික්මවන්නෙකි යි’ කියා එසේ කිව හැකි ක්‍රමය මෙය යි.”

මෙසේ වදාළ කල්හී සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ….(පෙ)…. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මා පිළිගන්නා සේක්වා!”

“සීහයෙනි, හොඳින් සිතා බලා කටයුතු කරව. ඔබ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන් හට හොඳින් සිතා බලා කටයුතු කිරීම යහපත් වෙයි.”

“ස්වාමීනී, මම මෙකරුණෙනුත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බෙහෙවින් ම සතුටු සිත් ඇත්තෙම්, ඇලුනෙම් වෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ ත් වදාළා නොවැ. ‘සීහයෙනි, හොඳින් සිතා බලා කටයුතු කරව. ඔබ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන් හට හොඳින් සිතා බලා කටයුතු කිරීම යහපත් වෙයි’ යි.

ස්වාමීනී, අන්‍ය තීර්ථකයන්ට මා වැනි ශ්‍රාවකයෙක් ලැබුණු විට මේ මුළු විශාලා මහනුවර ‘සීහ සේනාපති අපගේ ශ්‍රාවක භාවයට පැමිණියේ ය’යි කොඩි ඔසොවන්නාහු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළා නොවැ. ‘සීහයෙනි, හොඳින් සිතා බලා කටයුතු කරව. ඔබ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන් හට හොඳින් සිතා බලා කටයුතු කිරීම යහපත් වෙයි’ යි. ස්වාමීනී, ඒ මම දෙවන වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ව ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා”

“සීහයෙනි, ඔබගේ නිවස බොහෝ කාලයක් නිගණ්ඨයන් හට පැන් පොකුණක් සේ තිබුණේ ය. ඔවුන් පැමිණි කල්හී දානය දිය යුතු යැයි සිතිය යුත්තේ ය.”

“ස්වාමීනී, මම මෙකරුණෙනුත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බෙහෙවින් ම සතුටු සිත් ඇත්තෙම්, ඇලුනෙම් වෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ ත් වදාළා නොවැ. ‘සීහයෙනි, ඔබගේ නිවස බොහෝ කාලයක් නිගණ්ඨයන් හට පැන් පොකුණක් සේ තිබුණේ ය. ඔවුන් පැමිණි කල්හී දානය දිය යුතු යැයි සිතිය යුත්තේ ය’ යි.

ස්වාමීනි, මා අසන ලද්දේ වෙනත් දෙයක් නොවැ. එනම් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියති. ‘මට ම දන් දිය යුත්තේ ය. අන්‍යයන්ට දන් නොදිය යුත්තේ ය. මාගේ ශ්‍රාවකයන්ට ම දන් දිය යුත්තේ ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුත්තේ ය. මට ම දුන් දානය මහත්ඵල වෙයි. අන්‍යයන්ට දුන් දානය මහත්ඵල නොවෙයි. මාගේ ම ශ්‍රාවකයන්ට දුන් දානය මහත්ඵල වෙයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දුන් දානය මහත්ඵල නොවෙයි’ කියා ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මා නිගණ්ඨයන් කෙරෙහි ත් දානයෙහි සමාදන් කරවයි. වැලිදු ස්වාමීනි, අපි එහිලා කල් දන්නෙමු.

ස්වාමීනී, ඒ මම තෙවන වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ව ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීහ සේනාපතිට අනුපිළිවෙල කථාව වදාළ සේක. එනම්; දාන කථා, සීල කථා, සග්ග කථා, කාමයන්ගේ ආදීනව, කෙලෙසුන්ගේ ළාමක බව, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් පැවසූ සේක.

යම් විටක භාග්‍යවතුන් වහන්සේ සීහ සේනාපති ප්‍රබෝධ සිත් ඇති, මෘදු සිත් ඇති, නීවරණ රහිත සිත් ඇති, ඔදවැඩුණු සිත් ඇති, පහන් සිත් ඇති බවට පත් වූ බව දුටු සේක් ද, එකල්හී බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව ඔහුට පැවසූ සේක. දුක ත්, දුකෙහි හටගැනීම ත්, නිරෝධය ත්, මාර්ගය ත් ය. ඉවත් කරන ලද කළු ලප ඇති පිරිසිදු වස්ත්‍රයක් මනාකොට සායම් උරාගන්නේ යම් සේ ද, එසෙයින් ම සීහ සේනාපති හට ඒ අසුනෙහි ම කෙලෙස් රහිත වූ, අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒ සියල්ල හේතු නිරෝධයෙන් නිරුද්ධ වන ස්වභාව ඇත්තේ ය කියා ය.

ඉක්බිති දකිනා ලද ආර්ය සත්‍යය ධර්මය ඇති, සෝවාන් ඵලයට පත් ධර්මය ඇති, දුටු ධර්මය ඇති, බැසගත් ධර්මය ඇති, තරණය කළ සැක ඇති, බැහැර වූ ‘කෙසේ ද, කෙසේ ද’ යන ගති ඇති, විශාරද බවට පත්, ශාස්තෘ ශාසනයෙහි අන්‍යයන්ගේ උපකාර රහිත බවට පත් වූ සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ හෙට දවසෙහි මාගේ දානය පිණිස ඉවසා වදාරණ සේක්වා”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් එය පිළිගත් සේක. ඉක්බිති සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.

ඉක්බිති සීහ සේනාපති එක්තරා පුරුෂයෙකු ව ඇමතුවේ ය.

“එම්බා පුරුෂය, යව. විකිණීමට ඇති මාංශයක් දනුව”

එවිට සීහ සේනාපති ඒ රෑ ඇවෑමෙන් සිය නිවසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා “ස්වාමීනී, දානය පිළියෙල වූයේ ය. වඩින්නට කාලය යි” කියා භාග්‍යවතුන් වහන්සේට වඩින්නට කල් දැනුම් දුන්නේ ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන සීහ සෙන්පතියාගේ නිවසට වැඩිසේක. වැඩම කොට භික්ෂුසංඝයා සමඟ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.

එසමයෙහි බොහෝ නිගණ්ඨයෝ විශාලා මහනුවර පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ දෙඅත් බැඳ ‘අද සීහ සේනාපතියා විසින් මහත් සිරුරැති සිව්පාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන් උදෙසා බතක් සකසන ලද්දේ ය. ශ්‍රමණ ගෞතමයෝ තමන් උදෙසා කළ ඒ මස දැන දැන අනුභව කරති’ යි හඬ නගා කියති.

එකල්හී එක්තරා පුරුෂයෙක් සීහ සේනාපති වෙත පැමිණියේ ය. පැමිණ සීහ සේනාපතිගේ කනට ළං ව මෙය දැනුම් දුන්නේ ය.

“ස්වාමීනී, දන්නෙහි ද? මේ බොහෝ නිගණ්ඨයෝ විශාලා මහනුවර පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ දෙඅත් බැඳ ‘අද සීහ සේනාපතියා විසින් මහත් සිරුරැති සිව්පාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන් උදෙසා බතක් සකසන ලද්දේ ය. ශ්‍රමණ ගෞතමයෝ තමන් උදෙසා කළ ඒ මස දැන දැන අනුභව කරති’ යි හඬ නගා කෑ ගසනවා නොවැ.”

“ආර්යය, කම් නැත. ඒ ආයුෂ්මත්වරු බොහෝ කලක් ම බුදුරජුන්ගේ අගුණ කියනු කැමතියෝ ය. ධර්මයෙහි අගුණ කියනු කැමතියෝ ය. සංඝයාගේ අගුණ කියනු කැමතියෝ ය. ඒ ආයුෂ්මත්වරු භාග්‍යවතුන් වහන්සේට අසත්‍ය වූ, තුච්ඡ වූ, මුසා වූ, අභූතයෙන් චෝදනා කිරීම අවසන් නොකරන්නාහ. අපි ජීවිතය හේතුවෙනුත් දැන දැන සතෙකුගේ දිවි තොර නොකරම්හ.”

ඉක්බිති සීහ සේනාපති තෙමේ බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සිය අතින් සැතපෙව්වේ ය. මැනැවින් පැවරුවේ ය. ඉක්බිති සීහ සේනාපති තෙමේ දන් වළඳා පාත්‍රයෙන් බැහැරට ගත් ශ්‍රී හස්තයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේගේ එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සීහ සේනාපති හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා හුනස්නෙන් නැගී වැඩි සේක.

සාදු! සාදු!! සාදු!!!

සීහ සේනාපති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M