එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, විසල්පුරවාසී උග්ග ගෘහපතියා ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත ව සිටින බව දරව්.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක. ඉක්බිති එක්තරා භික්ෂුවක් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පා සිවුරු ගෙන විශාලාවෙහි උග්ග ගෘහපතියාගේ නිවසට පැමිණියේ ය. පැමිණ පණවන ලද අසුනෙහි හිඳගත්තේ ය. ඉක්බිති විසල්පුරවාසී උග්ග ගෘහපතියා ඒ භික්ෂුව වෙත පැමිණියේ ය. පැමිණ ඒ භික්ෂුවට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් විසල්පුරවාසී උග්ග ගෘහපතියා හට ඒ භික්ෂුව මෙය පැවසුවේ ය.
“ගෘහපතිය, ඔබ ආශ්චර්ය, අද්භූත කරුණු අටකින් සමන්විත වූයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවැ. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චර්ය, අද්භූත කරුණු අට මොනවාද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ආශ්චර්යය අද්භූත කරුණු අට ගැන මම නම් නොදනිමි. වැලිදු ස්වාමීනී, මා තුළ යම් ආශ්චර්ය අද්භූත කරුණු අටක් ඇද්ද, එය අසනු මැනැව. නුවණින් මෙනෙහි කළ මැනැව. පවසන්නෙමි.”
“එසේ ය, ගෘහපතිය” යැයි ඒ භික්ෂුව විසල්පුරවාසී උග්ග ගෘහපතියාට පිළිතුරු දුන්නේ ය. විසල්පුරවාසී උග්ග ගෘහපති තෙමේ මෙය පැවසුවේ ය.
1. “ස්වාමිනී, මම පළමුකොට යම් දවසක දුර දී ම භාග්‍යවතුන් වහන්සේ දුටුවෙම් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැකීම ත් සමඟ ම මාගේ සිත පැහැදී ගියේ ය. ස්වාමීනී, මා තුළ ඇති පළමුවෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
2. ස්වාමිනී, ඒ මම පැහැදුණු සිතින් යුතුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඇසුරු කළෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළ සේක. එනම්, දාන කථා, සීල කථා, ස්වර්ග කථා, කාමයෙහි ආදීනව කථා, කෙලෙසුන්ගේ කිලිටි බව ගැන කථා, නෙක්ඛම්මයෙහි ආනිශංස ගැන කථා ය. යම් කලක ප්‍රබෝධවත් වූ, මෘදු වූ, නීවරණ රහිත වූ, ඔද වැඩුණු, පහන් වූ සිත් ඇති මා පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ දැනගත් සේක් ද, එවිට බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව වන දුක ත්, සමුදය ත්, නිරෝධය ත්, මාර්ගය ත් ගැන වදාළ සේක. බැහැර වූ කළු පැල්ලම් ඇති පිරිසිදු වස්ත්‍රයක් සායම් මැනැවින් උරා ගන්නේ යම් සේ ද, එසෙයින් ම මා හට ඒ ආසනයෙහි ම කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියා ය. ස්වාමීනී, දහම දුටු, දහමට පැමිණි, දහම පසක් කළ, දහමෙහි බැසගත්, සැකයෙන් එතෙර වූ, ‘කෙසේ ද, කෙසේ ද’ යන්න බැහැර කළ, විශාරද බවට පත් වූ, ශාස්තෘ ශාසනයෙහි අන්‍ය උපකාර අනවශ්‍ය වූ මම එහිදී ම බුදුරජුන් ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ ගියෙමි. බඹසර පස්වෙනි කොට ශික්ෂාපද සමාදන් වූයෙමි. ස්වාමීනී, මා තුළ ඇති දෙවෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
3. ස්වාමීනී, ඒ මට යොවුන් බිරින්දෑවරු සතර දෙනෙක් වූහ. ස්වාමීනී, මම ඒ බිරින්දෑවරුන් වෙත ගියෙමි. ගොස් ඒ බිරින්දෑවරුන්ට මෙය පැවසූයෙමි. ‘සොයුරියෙනි, මා විසින් බ්‍රහ්මචාරී ශික්ෂාපදය සහිත ව පන්සිල් සමාදන් වුණෙමි. අදින් පසු යම් තැනැත්තියක් මෙහි සිටින්නට කැමැත්තී නම් ඕ මෙහි ම භෝග සම්පත් අනුභව කරාවා. පිනුත් කරාවා. තම ඥාතීන් වෙත හෝ යාවා. යම් තැනැත්තියක් වෙනත් පුරුෂයෙකුට කැමැත්තී නම්, ඔහුට ඇය ව දෙමි.’
ස්වාමීනී, මෙසේ කී කල්හී ජ්‍යෙෂ්ඨ බිරින්දෑ මට මෙය පැවසුවා ය. ‘ආර්ය පුත්‍රය, මෙනම් ඇති පුරුෂයාට මාව දෙනු මැනැව’ යි. එකල්හී ස්වාමීනී, මම ඒ පුරුෂයා කැඳවා වම් අතින් ඒ බිරින්දෑ ගෙන දකුණු අතින් පැන් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයාගේ අතට පැන් වඩා දුනිමි. ස්වාමීනී, ඒ යොවුන් බිරිඳ අත්හරින කල්හී මාගේ සිතෙහි කිසි වෙනස්කමක් ඇති වූ බවක් නොදනිමි. ස්වාමීනී, මා තුළ ඇති තුන්වෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
4. ස්වාමීනී, මාගේ නිවසෙහි භෝග සම්පත් ඇත්තේ ය. ඒවා කල්‍යාණ ධර්ම ඇති, සිල්වතුන් සමඟ ‘මෙය නොදෙමි, මෙය දෙමි’ යි වශයෙන් සිතක් නැති ව බෙදන ස්වභාව ඇත්තෙමි. ස්වාමීනී, මා තුළ ඇති සිව්වෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
5. ස්වාමීනී, මම යම් භික්ෂුවක් ඇසුරු කරම් ද, සකස් කොට ම ඇසුරු කරමි. නොසකස් කොට නොවෙයි. ස්වාමීනී, මා තුළ ඇති පස්වෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
6. ස්වාමීනී, ඉදින් ඒ ආයුෂ්මත් තෙමේ මට දහම් දෙසයි නම් සකස් කොට ම අසමි. නොසකස් කොට නොවෙයි. ඉදින් ඒ ආයුෂ්මත් තෙමේ මට දහම් නොදෙසයි නම් මම ඔහුට ධර්මය දෙසමි. ස්වාමීනී, මා තුළ ඇති සයවෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
7. ස්වාමීනී, මා වෙත දේවතාවෝ පැමිණ කතා කිරීම ආශ්චර්යයක් නොවෙයි. ඔවුහු මට මෙසේ කියති. ‘ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත වෙයි’ මෙසේ කී කල්හී ස්වාමීනී, මම ඒ දෙවියන්ට මෙය පවසමි. ‘දේවතාවෙනි, ඔබ කිව්ව ත් නැත ත් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලද්දේ ම ය’ යි. ස්වාමීනී, මේ හේතුවෙන් මගේ සිතෙහි ‘දේවතාවෝ මා වෙත පැමිණෙනවා නොවැ. මම දෙවියන් හා කතා බස් කරමි නොවැ’ යනුවෙන් මාන්නයක් හටගත් බවක් නොදනිමි. ස්වාමීනී, මා තුළ ඇති සත්වෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද යම් මේ පංච ඕරම්භාගීය සංයෝජනයන් ඇද්ද, ඒ කිසිවක් මා තුළ ප්‍රහීණ නොවී ඇති බවක් මම නොදකිමි. ස්වාමීනී, මා තුළ ඇති අටවෙනි ආශ්චර්යය අද්භූත කරුණ මෙය යි.
ස්වාමීනී, මේ අටක් වූ ආශ්චර්යය අද්භූත ධර්මයන් මා තුළ දිස්වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ආශ්චර්යය අද්භූත ධර්ම අට පිළිබඳ ව මම නොදනිමි.”
ඉක්බිති ඒ භික්ෂුව විසල්පුරවාසී උග්ග ගෘහපතියාගේ නිවසින් පිණ්ඩපාතය පිළිගෙන හුනස්නෙන් නැගී නික්ම ගියේ ය.
ඉක්බිති ඒ භික්ෂුව පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව විසල්පුරවාසී උග්ග ගෘහපතියා සමඟ යම්තාක් කථා සල්ලාපයක් වූයේ ද, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළේ ය.
“සාදු! සාදු! භික්ෂුව. විසල්පුරවාසී උග්ග ගෘහපතියා ඉතා මැනැවින් කරුණු පවසන්නේ යම් සේ ද, භික්ෂුව, මා විසින් පවසන ලද්දේ ද විසල්පුරවාසී උග්ග ගෘහපතියා මේ අටක් වූ ආශ්චර්යය අද්භූත ධර්මයන්ගෙන් ම සමන්විත වූ බව යි. භික්ෂුව, විසල්පුරවාසී උග්ග ගෘහපතියා මේ අටක් වූ ආශ්චර්යය අද්භූත ධර්මයන්ගෙන් ම සමන්විත වූ බවට දරාගන්න.”
සාදු! සාදු!! සාදු!!!
වේසාලික උග්ග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M