අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.3.3. හත්ථකාළවක සුත්තං

8.1.3.3. හත්ථකආළවක කුමාරයා ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අළව් නුවර අග්ගාලව චෛත්‍යස්ථානයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

“මහණෙනි, හත්ථකආළවක කුමරු ආශ්චර්ය අද්භූත කරුණු සතකින් යුක්ත බව දරව්. ඒ කවර කරුණු සතකින් ද යත්;

මහණෙනි, හත්ථකආළවක තෙමේ සැදැහැවත් ය. මහණෙනි, හත්ථකආළවක තෙමේ සිල්වත් ය. මහණෙනි, හත්ථකආළවක තෙමේ පවට ලැජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ පවට භය ඇත්තෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ බහුශ්‍රැතයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ ප්‍රඥාවන්තයෙකි.

මහණෙනි, හත්ථකආළවක කුමරු මේ ආශ්චර්ය අද්භූත කරුණු සතෙන් යුක්ත බව දරව්.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක. ඉක්බිති එක්තරා භික්ෂුවක් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පා සිවුරු ගෙන හත්ථක ආළවක කුමරුගේ නිවසට පැමිණියේ ය. පැමිණ පණවන ලද අසුනෙහි හිඳගත්තේ ය. ඉක්බිති හත්ථකආළවක කුමරු ඒ භික්ෂුව වෙත පැමිණියේ ය. පැමිණ ඒ භික්ෂුවට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් හත්ථකආළවක කුමරු හට ඒ භික්ෂුව මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත, ඔබ ආශ්චර්ය, අද්භූත කරුණු සතකින් සමන්විත වූයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවැ. ඒ කවර කරුණු සතකින් ද යත්;

මහණෙනි, හත්ථකආළවක තෙමේ සැදැහැවත් ය. සිල්වත් ය. ….(පෙ)…. පවට ලැජ්ජා ඇත්තෙකි. ….(පෙ)…. පවට භය ඇත්තෙකි. ….(පෙ)…. බහුශ්‍රැතයෙකි. ….(පෙ)…. ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ ප්‍රඥාවන්තයෙකි.

ආයුෂ්මත, ඔබ මේ ආශ්චර්ය, අද්භූත කරුණු සතෙන් සමන්විත වූයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවැ.”

“කිම, ස්වාමීනී, එහි සුදු වත් හැඳි කිසියම් ගිහියෙක් සිටියේ ද?”

“නැත. ආයුෂ්මත. එහි සුදු වත් හැඳි කිසි ගිහියෙක් සිටියේ නැත.”

“සාදු! ස්වාමීනී. එහි සුදු වත් හැඳි කිසි ගිහියෙක් නොසිටීම යහපති.”

ඉක්බිති ඒ භික්ෂුව හත්ථක ආළවක කුමරුගේ නිවසින් පිණ්ඩපාතය පිළිගෙන හුනස්නෙන් නැගී නික්ම ගියේ ය.

ඉක්බිති ඒ භික්ෂුව පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මෙහිලා මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පා සිවුරු ගෙන හත්ථක ආළවක කුමරුගේ නිවසට පැමිණියෙමි. පැමිණ පණවන ලද අසුනෙහි හිඳගත්තෙමි. ස්වාමීනී, ඉක්බිති හත්ථක ආළවක කුමරු මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. ස්වාමීනී, එකත්පස් ව හුන් හත්ථක ආළවක කුමරු හට මම මෙය පැවසුවෙමි.

‘ආයුෂ්මත, ඔබ ආශ්චර්ය, අද්භූත කරුණු සතකින් සමන්විත වූයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවැ. ඒ කවර කරුණු සතකින් ද යත්;

මහණෙනි, හත්ථකආළවක තෙමේ සැදැහැවත් ය. තෙමේ සිල්වත් ය. ….(පෙ)…. පවට ලැජ්ජා ඇත්තෙකි. ….(පෙ)…. පවට භය ඇත්තෙකි. ….(පෙ)…. බහුශ්‍රැතයෙකි. ….(පෙ)…. ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්ථකආළවක තෙමේ ප්‍රඥාවන්තයෙකි.

ආයුෂ්මත, ඔබ මේ ආශ්චර්ය, අද්භූත කරුණු සතෙන් සමන්විත වූයේ යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවැ.’

ස්වාමීනී, එසේ පැවසූ කල්හී හත්ථකආළවක කුමරු මට මෙය පැවසුවේ ය. ‘කිම, ස්වාමීනී, එහි සුදු වත් හැඳි කිසියම් ගිහියෙක් සිටියේ ද?’

‘නැත. ආයුෂ්මත. එහි සුදු වත් හැඳි කිසි ගිහියෙක් සිටියේ නැත.’

‘සාදු! ස්වාමීනී. එහි සුදු වත් හැඳි කිසි ගිහියෙක් නොසිටීම යහපති.”

“සාදු! සාදු! භික්ෂුව. භික්ෂුව, ඒ කුලපුත්‍රයා අල්පේච්ඡ කෙනෙකි. තමා තුළ ඇත්තා වූ ම කුසල් දහම් අන්‍යයන් දැනගන්නවාට කැමති නොවෙයි. එසේ වී නම් භික්ෂුව, හත්ථක ආළවක කුමරු යම් මේ අල්පේච්ඡතාවය ද එක් කොට මේ අටවැනි ආශ්චර්යය අද්භූත ධර්මයෙන් ද සමන්විත වූ බවට දරාගන්න.”

සාදු! සාදු!! සාදු!!!

හත්ථක ආළවක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M