අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.5.7. විශාඛා මනාපකායික සුත්තං

8.1.5.7. මනාපකායික දෙවියන් ගැන විශාඛාවට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමය නම් මිගාර මාතු ප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හී මිගාර මාතා විශාඛා උපාසිකාවෝ ….(පෙ)…. එකත්පස් ව හුන් විශාඛා මිගාර මාතාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“විශාඛාවෙනි, අට කරුණකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය. ඒ කවර අටක් ද යත්;

විශාඛාවෙනි, මෙහිලා මව්පියවරු යහපත කැමති ව, හිතවත් ව, අනුකම්පාවෙන්, අනුකම්පාව උපදවා යම් ස්වාමියෙකුට ස්ත්‍රියක් දෙත් නම්, ඇය ඒ ස්වාමියාට පළමු ව අවදිවන්නී, හැමට පසු ව නිදන්නී කුමක් කළ යුතු දැයි විමසන්නී, ප්‍රිය මනාප හැසිරීම් ඇති ව ප්‍රිය තෙපුල් ඇත්තී වෙයි. ….(පෙ)…. ත්‍යාගවන්තියක් වෙයි. මසුරුමල දුරු වූ සිතින් ගෙදර වසන්නී වෙයි. දානය පිණිස අත්හැර දොවනා ලද අත් ඇත්තී වෙයි. අනුන්ගේ ඉල්ලීමට සුදුසු වන්නී වෙයි. දන් බෙදන්නී වෙයි. දන් බෙදීමෙහි ඇලුණී වෙයි.

විශාඛාවෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.

(ගාථා)

1. යම් පුරුෂයෙක් හැම විට, නිතර බලවත් වීරියෙන් යුතුව, උත්සාහයෙන් යුතුව යම් ස්ත්‍රියක් පෝෂණය කරයි ද, ඒ ගෘහණිය තමාට කැමති සියල්ල දෙන ස්වාමියා හෙලා නොදකින්නී ය.

2. නුවණැති ස්ත්‍රිය ස්වාමියා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබනින්නී වෙයි. ස්වාමියාගේ ගුරුතන්හි සිටින සියල්ලන් පුදන්නී වෙයි.

3. නැගී සිටින වීරිය ඇත්තී වෙයි. කම්මැලි නැත්තී වෙයි. පරිවාර ජනයාට සංග්‍රහ කරන්නී වෙයි. ස්වාමියාගේ සිත් සතුටු කරමින් හැසිරෙන්නී ඔහු ඉපැයූ ධනය රකින්නී වෙයි.

4. යම් ස්ත්‍රියක් මෙසේ ස්වාමියාට සේවය කොට ස්වාමියාගේ කැමැත්ත අනුව සිටියා වෙයි ද, ඕ තොමෝ මනාප කායික (නිම්මාණරතී) දෙවියන් සිටින තැන උපදින්නී ය.

සාදු! සාදු!! සාදු!!!

විශාඛා මනාපකායික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M