සැවැත් නුවර දී ය …..
1. මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට ත් සුදුසු ය. අනුන්ගේ යහපතට ත් සුදුසු ය. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා වටහාගන්නේ ද වෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද වෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද වෙයි. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. සොඳුරු වචන පවසන්නේ, වැදගත් වචන පවසන්නේ, නොවිසුරුණු වචන පවසන්නේ, නිදොස් වචන පවසන්නේ, අරුත් හඟවන වචන පවසන්නේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන්නේ, සමාදන් කරවන්නේ, උනන්දු කරවන්නේ, සතුටු කරවන්නේ ද වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට ත් සුදුසු ය. අනුන්ගේ යහපතට ත් සුදුසු ය.
2. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට ත් සුදුසු ය. අනුන්ගේ යහපතට ත් සුදුසු ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා නොවටහාගන්නේ ද වෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද වෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද වෙයි. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. ….(පෙ)…. අරුත් හඟවන වචන පවසන්නේ වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන්නේ, සමාදන් කරවන්නේ, උනන්දු කරවන්නේ, සතුටු කරවන්නේ ද වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට ත් සුදුසු ය. අනුන්ගේ යහපතට ත් සුදුසු ය.
3. මහණෙනි, සිව් කරුණකින් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට සුදුසු ය. අනුන්ගේ යහපතට නුසුදුසු ය. ඒ කවර සිව් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා වටහාගන්නේ ද වෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද වෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද වෙයි. කල්‍යාණ වචන නැත්තේ වෙයි. සොඳුරු වචන පවසන, වැදගත් වචන පවසන, නොවිසුරුණු වචන පවසන, නිදොස් වචන පවසන, අරුත් හඟවන වචන පවසන ස්වභාවය ඇත්තේ ද නොවෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන, සමාදන් කරවන, උනන්දු කරවන, සතුටු කරවන ස්වභාවය ඇත්තේ ද නොවෙයි.
මහණෙනි, මේ සිව් කරුණෙන් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට සුදුසු ය. අනුන්ගේ යහපතට නුසුදුසු ය.
4. මහණෙනි, සිව් කරුණකින් සමන්විත වූ භික්ෂුව අනුන්ගේ යහපතට සුදුසු ය. තමන්ගේ යහපතට නුසුදුසු ය. ඒ කවර සිව් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා වටහාගන්නේ ද වෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද වෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා නොකරන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද නොවෙයි. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. සොඳුරු වචන පවසන්නේ, වැදගත් වචන පවසන්නේ, නොවිසුරුණු වචන පවසන්නේ, නිදොස් වචන පවසන්නේ, අරුත් හඟවන වචන පවසන්නේ ද වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන්නේ, සමාදන් කරවන්නේ, උනන්දු කරවන්නේ, සතුටු කරවන්නේ වෙයි.
මහණෙනි, මේ සිව් කරුණෙන් සමන්විත වූ භික්ෂුව අනුන්ගේ යහපතට සුදුසු ය. තමන්ගේ යහපතට නුසුදුසු ය.
5. මහණෙනි, තුන් කරුණකින් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට සුදුසු ය. අනුන්ගේ යහපතට නුසුදුසු ය. ඒ කවර තුන් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා නොවටහාගන්නේ ද වෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද වෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද වෙයි. කල්‍යාණ වචන ඇත්තේ නොවෙයි. සොඳුරු වචන පවසන, වැදගත් වචන පවසන, නොවිසුරුණු වචන පවසන, නිදොස් වචන පවසන, අරුත් හඟවන වචන පවසන ස්වභාවයෙන් යුක්ත ද නොවෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන, සමාදන් කරවන, උනන්දු කරවන, සතුටු කරවන ස්වභාවයෙන් යුක්ත ද නොවෙයි.
මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට සුදුසු ය. අනුන්ගේ යහපතට නුසුදුසු ය.
6. මහණෙනි, තුන් කරුණකින් සමන්විත වූ භික්ෂුව අනුන්ගේ යහපතට සුදුසු ය. තමන්ගේ යහපතට නුසුදුසු ය. ඒ කවර තුන් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා නොවටහා ගන්නේ ද වෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද වෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද නොවෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද නොවෙයි. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. සොඳුරු වචන පවසන්නේ, වැදගත් වචන පවසන්නේ, නොවිසුරුණු වචන පවසන්නේ, නිදොස් වචන පවසන්නේ, අරුත් හඟවන වචන පවසන්නේ ද වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන්නේ, සමාදන් කරවන්නේ, උනන්දු කරවන්නේ, සතුටු කරවන්නේ ද වෙයි.
මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්විත වූ භික්ෂුව අනුන්ගේ යහපතට සුදුසු ය. තමන්ගේ යහපතට නුසුදුසු ය.
7. මහණෙනි, දෙකරුණකින් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට සුදුසු ය. අනුන්ගේ යහපතට නුසුදුසු ය. ඒ කවර දෙකරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා වටහාගන්නේ ද නොවෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද නොවෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද වෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද වෙයි. කල්‍යාණ වචන ඇත්තේ නොවෙයි. ….(පෙ)…. අරුත් හඟවන වචන පවසන ස්වභාවයෙන් යුක්ත ද නොවෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන, සමාදන් කරවන, උනන්දු කරවන, සතුටු කරවන ස්වභාවයෙන් යුක්ත නොවෙයි.
මහණෙනි, මේ දෙකරුණෙන් සමන්විත වූ භික්ෂුව තමාගේ යහපතට සුදුසු ය. අනුන්ගේ යහපතට නුසුදුසු ය.
8. මහණෙනි, දෙකරුණකින් සමන්විත වූ භික්ෂුව අනුන්ගේ යහපතට සුදුසු ය. තමන්ගේ යහපතට නුසුදුසු ය. ඒ කවර දෙකරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කුසල් දහම් පිළිබඳ ව වහා වටහාගන්නේ ද නොවෙයි. ඇසූ ධර්මයන් මැනැවින් දරණ ස්වභාවය ඇත්තේ ද නොවෙයි. දරාගත් ධර්මයන්ගේ අර්ථ නුවණින් පරීක්ෂා කරන්නේ ද නොවෙයි. අර්ථ දැන, ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූයේ ද නොවෙයි. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. සොඳුරු වචන පවසන්නේ, වැදගත් වචන පවසන්නේ, නොවිසුරුණු වචන පවසන්නේ, නිදොස් වචන පවසන්නේ, අරුත් හඟවන වචන පවසන්නේ ද වෙයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට කරුණු පෙන්වා දෙන්නේ, සමාදන් කරවන්නේ, උනන්දු කරවන්නේ, සතුටු කරවන්නේ වෙයි.
මහණෙනි, මේ දෙකරුණෙන් සමන්විත වූ භික්ෂුව අනුන්ගේ යහපතට සුදුසු ය. තමන්ගේ යහපතට නුසුදුසු ය.
සාදු! සාදු!! සාදු!!!
අලං සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M