එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ගයාවෙහි ගයා ශීර්ෂයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
1. මහණෙනි, සම්බුද්ධත්වයට පෙර අභිසම්බෝධිය නොලැබුවේ බෝධිසත්ව වූයේ ම මම සමාධි ආලෝකය හඳුනාගනිමි. රූප නොදකිමි.
2. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ඉදින් මම ආලෝකය ද හඳුනා ගන්නෙම් නම්, රූප ත් දකින්නෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්ශනය වඩා ත් පිරිසිදු වන්නේ ය කියා ය. මහණෙනි, ඒ මම පසු කාලයක අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් ආලෝකය ද හඳුනමි. රූප ද දකිමි. එනමුත් දෙවියන් සමඟ නොසිටිමි. කතා බස් නොකරමි. සාකච්ඡාවට නොපැමිණෙමි.
3. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ඉදින් මම ආලෝකය ද හඳුනා ගන්නෙම් නම්, රූප ත් දකින්නෙම් නම්, ඒ දෙවියන් සමඟ සිටින්නෙම් නම්, කතා බස් කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙන්නෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්ශනය වඩා ත් පිරිසිදු වන්නේ ය කියා ය. මහණෙනි, ඒ මම පසු කාලයක අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් ආලෝකය ද හඳුනමි. රූප ද දකිමි. ඒ දෙවියන් සමඟ ද සිටිමි. කතා බස් කරමි. සාකච්ඡාවට පැමිණෙමි. එනමුත් මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායෙන් පැමිණියෝ ය යි ඒ දෙවිවරු න් ගැන නොදනිමි.
4. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ඉදින් මම ආලෝකය ත් හැඳින ගන්නෙම් නම්, රූප ත් දකින්නෙම් නම්, ඒ දෙවියන් සමඟ ද සිටින්නෙම් නම්, කතා බස් කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙන්නෙම් නම්, මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායෙන් පැමිණියෝ යැයි ඒ දෙවිවරුන් ගැන දැනගන්නෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්ශනය වඩා ත් පිරිසිදු වන්නේ ය කියා ය. මහණෙනි, ඒ මම පසු කාලයක අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් ආලෝකය ද හඳුනමි. රූප ද දකිමි. ඒ දෙවියන් සමඟ ද සිටිමි. කතා බස් කරමි. සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායෙන් පැමිණියෝ යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. එනමුත් මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙයින් චුත ව එහි උපන්නාහු යැයි ඒ දෙවිවරුන් ගැන නොදනිමි. ….(පෙ)….
5. මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙයින් චුත ව එහි උපන්නාහු යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. නමුත් ඒ දෙවිවරුන් ගැන මෙසේ නොදනිමි. එනම් මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැප දුක් විඳින්නාහු යැයි ….(පෙ)….
6. මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැප දුක් විඳින්නාහු යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. නමුත් මේ දෙවිවරු මෙබඳු වූ දීර්ඝායුෂ ඇත්තෝ ය, මේ අයුරින් බොහෝ කල් සිටින්නෝ යැයි ඒ දෙවිවරුන් ගැන නොදනිමි. ….(පෙ)….
7. මේ දෙවිවරු මෙබඳු වූ දීර්ඝායුෂ ඇත්තෝ ය, මේ අයුරින් බොහෝ කල් සිටින්නෝ යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. නමුත් මේ දෙවිවරුන් සමඟ මම කලින් භවයන්හි වාසය කළ විරූ ද? වාසය නොකළ විරූ දැයි ඒ දෙවිවරුන් ගැන නොදනිමි. ….(පෙ)….
8. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ඉදින් මම ආලෝකය ත් හැඳින ගන්නෙම් නම්, රූප ත් දකින්නෙම් නම්, ඒ දෙවියන් සමඟ ද සිටින්නෙම් නම්, කතා බස් කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙන්නෙම් නම්, මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායෙන් පැමිණියෝ යැයි ඒ දෙවිවරුන් ගැන දැනගන්නෙම් නම්, මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙයින් චුත ව එහි උපන්නාහු යැයි ඒ දෙවිවරුන් ගැන දැනගන්නෙම් නම්, මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැප දුක් විඳින්නාහු යැයි දැනගන්නෙම් නම්, මේ දෙවිවරු මෙබඳු වූ දීර්ඝායුෂ ඇත්තෝ ය, මේ අයුරින් බොහෝ කල් සිටින්නෝ යැයි ඒ දෙවිවරුන් ගැන දැනගන්නෙම් නම්, මේ දෙවිවරුන් සමඟ මම කලින් භවයන්හි වාසය කළ විරූ ද? වාසය නොකළ විරූ දැයි ඒ දෙවිවරුන් ගැන දැනගන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්ශනය වඩා ත් පිරිසිදු වන්නේ ය කියා ය.
මහණෙනි, ඒ මම පසු කාලයක අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් ආලෝකය ද හඳුනමි. රූප ද දකිමි. ඒ දෙවියන් සමඟ ද සිටිමි. කතා බස් කරමි. සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායෙන් පැමිණියෝ යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙයින් චුත ව එහි උපන්නාහු යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. මේ දෙවිවරු මේ කර්ම විපාකයෙන් මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැප දුක් විඳින්නාහු යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. මේ දෙවිවරු මෙබඳු වූ දීර්ඝායුෂ ඇත්තෝ ය, මේ අයුරින් බොහෝ කල් සිටින්නෝ යැයි ඒ දෙවිවරුන් ගැන දනිමි. මේ දෙවිවරුන් සමඟ මම කලින් භවයන්හි වාසය කළ විරූ ද? වාසය නොකළ විරූ දැයි ඒ දෙවිවරුන් ගැන දනිමි.
මහණෙනි, යම්තාක් කල් මා හට මෙසේ පරිවර්ත අටකින් යුතු අධිදේව ඥානදර්ශනය පිරිසිදු ව නොවැටහුණේ වෙයි ද, ඒ තාක් කල් මහණෙනි, මම දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා නොදුන්නෙමි.
මහණෙනි, යම් කලක මා හට මෙසේ පරිවර්ත අටකින් යුතු අධිදේව ඥානදර්ශනය පිරිසිදු ව වැටහුණේ වෙයි ද, එකල්හී මහණෙනි, මම දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නෙමි.
මා තුළ ඥානදර්ශනය උපන්නේ ය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වෙයි. මෙය අන්තිම උපතයි. දැන් පුනර්භවයක් නැත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අධිදේවඤාණදස්සන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M