සැවැත් නුවර දී ය …..
මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. දේව අසුර යුද්ධයක් ආරම්භ වූයේ ය. මහණෙනි, ඒ යුද්ධයෙහි අසුරයෝ ජයගත්තාහු ය. දෙවියෝ පැරදුණාහු ය. මහණෙනි, පරාජිත දෙවියෝ උතුරු දිශාවට අභිමුඛ ව පළාගියාහු ය. අසුරයෝ දෙවියන් පසුපස හඹා ගියාහු ය. ඉක්බිති මහණෙනි, දෙවියන්ට මේ අදහස ඇතිවූයේ ය.
‘අසුරයෝ අප ව ලුහු බඳිත් ම යි. ඉදින් අපි අසුරයන් හා දෙවෙනි වරට ත් යුද්ධ කරන්නෙමු නම් යහපති’ යි.
මහණෙනි, දෙවෙනි වතාවේ ත් දෙවියෝ අසුරයන් හා යුද වැදුණාහු ය. මහණෙනි, දෙවෙනි වතාවේ ත් අසුරයෝ ම ජයගත්තාහු ය. දෙවියෝ පැරදුණාහු ය. මහණෙනි, පරාජිත දෙවියෝ බියට පත් ව උතුරු දිශාවට අභිමුඛ ව පළාගියාහු ය. අසුරයෝ දෙවියන් පසුපස හඹා ගියාහු ය. ඉක්බිති මහණෙනි, දෙවියන්ට මේ අදහස ඇතිවූයේ ය.
‘අසුරයෝ අප ව ලුහු බඳිත් ම යි. ඉදින් අපි අසුරයන් හා තුන්වෙනි වරට ත් යුද්ධ කරන්නෙමු නම් යහපති’ යි.
මහණෙනි, තුන්වෙනි වරට ත් දෙවියෝ අසුරයන් හා යුද වැදුණාහු ය. මහණෙනි, තුන්වෙනි වතාවේ ත් අසුරයෝ ම ජයගත්තාහු ය. දෙවියෝ පැරදුණාහු ය. මහණෙනි, පරාජිත දෙවිවරු බියෙන් තැති ගෙන දෙව්පුරයට ම පිවිසියාහු ය.
මහණෙනි, දෙව්පුරට ගිය ඒ දෙවියන් හට මේ අදහස ඇතිවිය.
‘දැන් අපි මෙකල නිර්භය ස්ථානයට පැමිණ වාසය කරම්හ. අසුරයන් විසින් දැන් කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, අසුරයන්ට ද මේ අදහස ඇතිවූයේ ය.
‘දැන් දෙවියෝ මෙකල නිර්භය ස්ථානයට ගොස් වාසය කරති. අප විසින් ඔවුන්ට කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. සුර අසුර යුද්ධයක් ආරම්භ වූයේ ය. මහණෙනි, ඒ යුද්ධයෙහිදී දෙවියෝ ජයගත්තාහු ය. අසුරයෝ පැරදුණාහු ය. පරාජිත අසුරයෝ දකුණු දිශාවට අභිමුඛ ව පළාගියාහු ය. දෙවියෝ අසුරයන් පසුපස හඹා ගියාහු ය. ඉක්බිති මහණෙනි, අසුරයන්ට මේ අදහස ඇතිවූයේ ය.
‘දෙවියෝ අප ව ලුහු බඳිත් ම යි. ඉදින් අපි දෙවියන් හා දෙවෙනි වරට ත් යුද්ධ කරන්නෙමු නම් යහපති’ යි.
මහණෙනි, දෙවෙනි වතාවේ ත් අසුරයෝ දෙවියන් හා යුද වැදුණාහු ය. මහණෙනි, දෙවෙනි වතාවේ ත් දෙවියෝ ජයගත්තාහු ය. අසුරයෝ පැරදුණාහු ය. පරාජිත අසුරයෝ දකුණු දිශාවට අභිමුඛ ව පළාගියාහු ය. දෙවියෝ අසුරයන් පසුපස හඹා ගියාහු ය. ඉක්බිති මහණෙනි, අසුරයන්ට මේ අදහස ඇතිවූයේ ය.
‘දෙවියෝ අප ව ලුහු බඳිත් ම යි. ඉදින් අපි දෙවියන් හා තුන්වෙනි වරට ත් යුද්ධ කරන්නෙමු නම් යහපති’ යි.
මහණෙනි, තුන්වෙනි වතාවේ ත් දෙවියෝ අසුරයන් හා යුද වැදුණාහු ය. මහණෙනි, තුන්වෙනි වතාවේ ත් දෙවියෝ ම ජයගත්තාහු ය. අසුරයෝ පැරදුණාහු ය. මහණෙනි, පරාජිත අසුරයෝ බියෙන් තැති ගෙන අසුර පුරයට ම පිවිසියාහු ය.
මහණෙනි, අසුර පුරයට ගිය ඒ අසුරයන් හට මේ අදහස ඇතිවිය.
‘දැන් අපි මෙකල නිර්භය ස්ථානයට පැමිණ වාසය කරම්හ. දෙවියන් විසින් දැන් කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, දෙවියන්ට ද මේ අදහස ඇතිවූයේ ය.
‘දැන් අසුරයෝ මෙකල නිර්භය ස්ථානයට ගොස් වාසය කරති. අප විසින් ඔවුන්ට කිසිවක් කළ නොහැක්කේ ය.’
එසෙයින් ම මහණෙනි, යම් කලක භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි නම්, මහණෙනි, එසමයෙහි භික්ෂුවට මෙසේ සිතෙයි.
‘මම දැන් මෙකල නිර්භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරමි. මාරයා විසින් කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, පවිටු මාරයාට ද මෙසේ සිතෙයි.
‘දැන් මෙකල භික්ෂුව නිර්භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරයි. මා විසින් කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, යම් කලක භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි නම්, මහණෙනි, එසමයෙහි භික්ෂුවට මෙසේ සිතෙයි.
‘මම දැන් මෙකල නිර්භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරමි. මාරයා විසින් කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, පවිටු මාරයාට ද මෙසේ සිතෙයි.
‘දැන් මෙකල භික්ෂුව නිර්භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරයි. මා විසින් කිසිවක් කළ නොහැක්කේ ය.’
මහණෙනි, යම් කලක භික්ෂුව සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුව මාරයාට පැමිණෙන්නට ඇති ඉඩකඩ නසා අවසන් කළේ ය. මාරයාගේ ඇසට නොපෙනී ගියේ යැයි කියනු ලැබේ.
මහණෙනි, යම් කලක භික්ෂුව සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ ත් ක්ෂය වූවාහු වෙති. මහණෙනි, මේ භික්ෂුව මාරයාට පැමිණෙන්නට ඇති ඉඩකඩ නසා අවසන් කළේ ය. මාරයාගේ ඇසට නොපෙනී ගියේ ය. ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දේවාසුරසංගාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M