එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රාජධානියෙහි කපිලවස්තුයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී බොහෝ ශාක්‍ය උපාසකවරු පොහෝ දිනයක් වූ එදින භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තාහු ය. එකත්පස් ව හුන් ශාක්‍ය උපාසකවරුන් ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය ඇසූ සේක.
“ශාක්‍යවරුනි, ඔබ අෂ්ටාංගයෙන් යුක්ත වූ උපෝසථ සිල් සමාදන් ව වසව් ද?”
“ස්වාමීනී, ඇතැම් දවස්වල අපි අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් ව වසමු. ඇතැම් දවස්වල නොවසමු.”
“ශාක්‍යවරුනි, එය ඔබට අලාභයෙක් ම ය. එය ඔබට නපුරු ලැබීමෙක් ම ය. මෙබඳු වූ ශෝක, භය සහිත ජීවිතයක් ඇති කල්හී, මරණ භය සහිත ජීවිතයක් ඇති කල්හී, ඇතැම් දිනෙක පමණක් අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් වූවාහු ය. ඇතැම් දිනෙක සමාදන් නොවූවාහු ය. ශාක්‍යවරුනි, ඒ කිමැයි හඟිව් ද? මෙහිලා පුරුෂයෙක් කිසියම් රැකියාවකින් පාඩු නොලබන්නේ නම්, දිනකට අඩ කහවණුවක් උපයන්නේ නම් ඔහු දක්ෂ පුරුෂයෙක් ය, නැගී සිටි වීරියෙන් යුතු කෙනෙක් ය කියා කීමට සුදුසු වෙයි ද?” “එසේ ය, ස්වාමීනී”
“ශාක්‍යවරුනි, ඒ කිමැයි හඟිව් ද? මෙහිලා පුරුෂයෙක් කිසියම්
රැකියාවකින් පාඩු නොලබන්නේ නම්, දිනෙකට කහවණුවක් උපයන්නේ නම් ඔහු දක්ෂ පුරුෂයෙක් ය, නැගී සිටි වීරියෙන් යුතු කෙනෙක් ය කියා කීමට සුදුසු වෙයි ද?” “එසේ ය, ස්වාමීනී”
“ශාක්‍යවරුනි, ඒ කිමැයි හඟිව් ද? මෙහිලා පුරුෂයෙක් කිසියම්
රැකියාවකින් පාඩු නොලබන්නේ නම්, දිනෙකට කහවණු දෙකක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු තුනක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු හතරක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු පහක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු හයක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු හතක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු අටක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු නවයක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු දහයක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු විස්සක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු තිහක් උපයන්නේ නම් ….(පෙ)…. කහවුණු හතළිහක් උපයන්නේ නම් ….(පෙ)…. කහවණු පනහක් උපයන්නේ නම් ඔහු දක්ෂ පුරුෂයෙක් ය, නැගී සිටි වීරියෙන් යුතු කෙනෙක් ය කියා කීමට සුදුසු වෙයි ද?” “එසේ ය, ස්වාමීනී”
“ශාක්‍යවරුනි, ඒ කිමැයි හඟිව් ද? ඉදින් ඒ පුරුෂයා දවසක් දවසක් පාසා කහවණු සියයක්, කහවණු දහසක් උපයන්නේ ඒ ලද ලද කහවණු රැස් කරන්නේ සියවසක් ආයු ඇති ඒ තැනැත්තා සියවසක් ජීවිතය ගෙවද්දී මහත් වූ භෝග ස්කන්ධයකට හිමිකරුවෙක් වන්නේ ද?” “එසේ ය, ස්වාමීනී”
“ශාක්‍යවරුනි, ඒ කිමැයි හඟිව් ද? ඉදින් ඒ පුරුෂයා ඒ භෝග හේතුවෙන් ඒ ධන සම්පත් හේතුවෙන්, ඒ භෝග සම්පත් හේතුවෙන් එක රැයක් වේවා, එක් දහවලක් වේවා, අඩ රැයක් වේවා, අඩ දවසක් වේවා ඒකාන්තයෙන් ම පිරිපුන් ලෙස සැප විඳිනසුළු ව වාසය කරන්නේ ද?” “ස්වාමීනී, එසේ නොවේ ම ය.”
“එයට හේතුව කුමක් ද?”
“ස්වාමීනී, කාමයෝ වනාහී අනිත්‍යයහ. හිස් දෙයකි. බොරුවෙකි. නැසෙනසුළු ස්වභාව ඇති දෙයකි.”
“ශාක්‍යවරුනි, මෙහිලා මාගේ ශ්‍රාවකයෙක් දස වර්ෂයක් අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන්, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරමින් මා විසින් යම් අයුරකින් අවවාද කරන ලද්දේ ද, ඒ අයුරින් ම පිළිපදියි නම්, ඒ තැනැත්තා සියක් වසක් ද, දස දහස් වසක් ද, සිය දහස් වසක් ද, සියවස් සිය දහසක් ද ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරන්නේ ය. එමෙන් ම ඔහු සකදාගාමී වූ කෙනෙක් හෝ අනාගාමී වූ කෙනෙක් හෝ වෙයි. නොවැරදීම සෝවාන් හෝ වෙයි.
ශාක්‍යවරුනි, දස වසක් තිබේවා! මෙහිලා මාගේ ශ්‍රාවකයෙක් නව වසක් ….(පෙ)…. අට වසක් ….(පෙ)…. සත් වසක් ….(පෙ)…. සය වසක් ….(පෙ)…. පස් වසක් ….(පෙ)…. සිව් වසක් ….(පෙ)…. තුන් වසක් ….(පෙ)…. දෙවසක් ….(පෙ)…. එක් වසක් අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන්, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරමින් මා විසින් යම් අයුරකින් අවවාද කරන ලද්දේ ද, ඒ අයුරින් ම පිළිපදියි නම්, ඒ තැනැත්තා සියක් වසක් ද, දස දහස් වසක් ද, සිය දහස් වසක් ද, සියවස් සිය දහසක් ද ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරන්නේ ය. එමෙන් ම ඔහු සකදාගාමී වූ කෙනෙක් හෝ අනාගාමී වූ කෙනෙක් හෝ වෙයි. නොවැරදීම සෝවාන් හෝ වෙයි.
ශාක්‍යවරුනි, එක් වසක් තිබේවා! මෙහිලා මාගේ ශ්‍රාවකයෙක් දස මසක් අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන්, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරමින් මා විසින් යම් අයුරකින් අවවාද කරන ලද්දේ ද, ඒ අයුරින් ම පිළිපදියි නම්, ඒ තැනැත්තා සියක් වසක් ද, දස දහසක් ද, සිය දහස් වසක් ද, සියවස් සිය දහසක් ද ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරන්නේ ය. එමෙන් ම ඔහු සකදාගාමී වූ කෙනෙක් හෝ අනාගාමී වූ කෙනෙක් හෝ වෙයි. නොවැරදීම සෝවාන් හෝ වෙයි.
ශාක්‍යවරුනි, දස මසක් තිබේවා! මෙහිලා මාගේ ශ්‍රාවකයෙක් නව මසක් ….(පෙ)…. අට මසක් ….(පෙ)…. සත් මසක් ….(පෙ)…. හය මසක් ….(පෙ)…. පස් මසක් ….(පෙ)…. සාර මසක් ….(පෙ)…. තුන් මසක් ….(පෙ)…. දෙමසක් ….(පෙ)…. එක් මසක් ….(පෙ)…. අඩමසක් අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන්, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරමින් මා විසින් යම් අයුරකින් අවවාද කරන ලද්දේ ද, ඒ අයුරින් ම පිළිපදියි නම්, ඒ තැනැත්තා සියක් වසක් ද, දස දහසක් ද, සිය දහස් වසක් ද, සියවස් සිය දහසක් ද ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරන්නේ ය. එමෙන් ම ඔහු සකදාගාමී වූ කෙනෙක් හෝ අනාගාමී වූ කෙනෙක් හෝ වෙයි. නොවැරදීම සෝවාන් හෝ වෙයි.
ශාක්‍යවරුනි, අඩ මසක් තිබේවා! මෙහිලා මාගේ ශ්‍රාවකයෙක් දස රෑ දහවලක් අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන්, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරමින් මා විසින් යම් අයුරකින් අවවාද කරන ලද්දේ ද, ඒ අයුරින් ම පිළිපදියි නම්, ඒ තැනැත්තා සියක් වසක් ද, දස දහසක් ද, සිය දහස් වසක් ද, සියවස් සිය දහසක් ද ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරන්නේ ය. එමෙන් ම ඔහු සකදාගාමී වූ කෙනෙක් හෝ අනාගාමී වූ කෙනෙක් හෝ වෙයි. නොවැරදීම සෝවාන් හෝ වෙයි.
ශාක්‍යවරුනි, දස රෑ දහවලක් තිබේවා! මෙහිලා මාගේ ශ්‍රාවකයෙක් රෑ දහවල් නවයක් ….(පෙ)…. රෑ දහවල් අටක් ….(පෙ)…. රෑ දහවල් සතක් ….(පෙ)…. රෑ දහවල් හයක් ….(පෙ)…. රෑ දහවල් පහක් ….(පෙ)…. රෑ දහවල් සතරක් ….(පෙ)…. රෑ දහවල් තුනක් ….(පෙ)…. රෑ දහවල් දෙකක් ….(පෙ)…. එක් රෑ දහවලක් අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන්, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිත ව වාසය කරමින් මා විසින් යම් අයුරකින් අවවාද කරන ලද්දේ ද, ඒ අයුරින් ම පිළිපදියි නම්, ඒ තැනැත්තා සියක් වසක් ද, දස දහසක් ද, සිය දහස් වසක් ද, සියවස් සිය දහසක් ද ඒකාන්ත සැපයක් විඳිමින් වාසය කරන්නේ ය. එමෙන් ම ඔහු සකදාගාමී වූ කෙනෙක් හෝ අනාගාමී වූ කෙනෙක් හෝ වෙයි. නොවැරදීම සෝවාන් හෝ වෙයි.
ශාක්‍යවරුනි, එය ඔබට අලාභයෙක් ම ය. එය ඔබට නපුරු ලැබීමෙක් ම ය. මෙබඳු වූ ශෝක භය සහිත ජීවිතයක් ඇති කල්හී, මරණ භය සහිත ජීවිතයක් ඇති කල්හී, ඇතැම් දිනෙක පමණක් අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් වූවාහු ය. ඇතැම් දිනෙක සමාදන් නොවූවාහු ය.”
“ස්වාමීනී, ඒ අපි අද පටන් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් ව වසන්නෙමු.”
සාදු! සාදු!! සාදු!!!
සක්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M