සැවැත් නුවර දී ය…….
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ‘ආයුෂ්මතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.
“ඉදින් ආයුෂ්මත්නි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි ආයුෂ්මත්නි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.
ආයුෂ්මත්නි, භික්ෂුවක් තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේද? ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. යොවුන් වූ තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමති ව පිරිසිදු කැඩපතක් ළඟට යයි. නැත්නම් පිරිසිදු දිය බඳුනක් ළඟට යයි. තමාගේ මුව මඬල හොඳින් විමසා බලයි. ඉදින් තමාගේ මුවෙහි කිසියම් කිළුටක් හෝ කැළලක් හෝ තිබේ නම් ඒ කිළුට හෝ කැළල හෝ නැති කර දැමීමට වෑයම් කරයි. ඉදින් තමාගේ මුවෙහි කිළුටක් හෝ කැළලක් හෝ නොදකී නම් ඒ හේතුවෙන් සතුටු සිත් ඇත්තේ වේ. පිරිපුන් සංකල්ප ඇත්තේ වෙයි. ‘සැබැවින් ම මට ලාභයකි. සැබැවින් ම මගේ මුව මඬල පිරිසිදු ය’ වශයෙනි.
ඔය අයුරින් ම ආයුෂ්මත්නි, කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ ය. ‘මම් බහුල ව ලෝභයෙන් යුතුව වාසය කරන්නෙම් ද? මම් බහුල ව ලෝභ රහිත ව වාසය කරන්නෙම් ද? මම් ද්වේෂ සිතින් බහුල ව වසන්නෙම් ද? මම් ද්වේෂ රහිත සිතින් බහුල ව වසන්නෙම් ද? මම් බහුල ව ථීනමිද්ධයට යට වී වසන්නෙම් ද? මම් බහුල ව ථීනමිද්ධ රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව උද්ධච්චයෙන් වසන්නෙම් ද? මම් බහුල ව උද්ධච්ච රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව සැකයෙන් වසන්නෙම් ද? මම් බහුල ව සැකයෙන් තොර ව වසන්නෙම් ද? මම් බහුල ව ක්‍රෝධයෙන් වසන්නෙම් ද? මම් බහුල ව ක්‍රෝධ රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව කිළුටු සිතින් වසන්නෙම් ද? මම් බහුල ව නොකිලිටි සිතින් වසන්නෙම් ද? මම් බහුල ව කායික පීඩායෙන් වසන්නෙම් ද? මම් බහුල ව කාය පීඩා රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව කුසීතව වසන්නෙම් ද? මම් බහුල ව පටන්ගත් වීර්යයෙන් යුතුව වසන්නෙම් ද? මම් බහුල ව එකඟ නොවූ සිතින් වසන්නෙම් ද? මම් බහුල ව සමාධිමත් සිතින් වසන්නෙම් දැයි.
ඉදින් ආයුෂ්මත්නි, භික්ෂුව නුවණින් විමසද්දී මෙසේ දැනගන්නේ නම්, එනම් ‘මම් බහුල ව වාසය කරන්නේ ලෝභයෙන් යුතුව යි. ….(පෙ)…. මම් බහුල ව එකඟ නොවූ සිතින් වසන්නෙමි’යි. ආයුෂ්මත්නි, එවිට ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති ඒ පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය. ආයුෂ්මත්නි, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිලෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිලෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කරගන්නේ යම් සේ ද, ඒ අයුරින් ම ආයුෂ්මත්නි, ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති ඒ පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, නොපසුබස්නා උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුත්තේ ය.
ඉදින් ආයුෂ්මත්නි, ඒ භික්ෂුව තමා පිළිබඳ ව එසේ නුවණින් විමසන කල්හී මෙලෙස දන්නේ නම්, ‘මම් ලෝභයෙන් තොර ව බහුල ව වසමි. ….(පෙ)…. සමාධිමත් සිතින් බහුල ව වසමි’යි. එවිට ආයුෂ්මත්නි, ඒ භික්ෂුව විසින් තමා තුළ ඇති ඒ කුසල් දහම් මත පිහිටා තවදුරටත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස උත්සාහ කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M