අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.3.2. කණ්ටක සුත්තං

10.2.3.2. කටුව ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරන සේක. එකල්හී ඉතා ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් වූ ආයුෂ්මත් චාලයන් ද, ආයුෂ්මත් උපචාලයන් ද, ආයුෂ්මත් කක්කටයන් ද, ආයුෂ්මත් කටිම්බයන් ද, ආයුෂ්මත් කටයන් ද, ආයුෂ්මත් කටිස්සංගයන් ද අන්‍ය වූ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් වහන්සේලා ද එහි වැඩසිටියහ.

එකල්හී ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ බොහෝ ලිච්ඡවීහු සොඳුරු සොඳුරු යානයන්ගෙන් ඉදිරියේ ත්, පසුපස ත් මහ සෙනඟ ඇති ව, උස් හඬින් මහ හඬින් යුතු ව භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීම පිණිස මහා වනයට ඇතුළු වූවාහු ය. එවිට ඒ ආයුෂ්මතුන් වහන්සේලාට මේ අදහස ඇතිවිය.

‘මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ බොහෝ ලිච්ඡවීහු සොඳුරු සොඳුරු යානයන් ගෙන් ඉදිරියේ ත්, පසුපස ත් මහ සෙනඟ ඇති ව, උස් හඬින් මහ හඬින් යුතු ව භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීම පිණිස මහා වනයට ඇතුළු වූවාහු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ධ්‍යානයෝ ශබ්දයෙන් රිදුම් දෙන කටු සහිත වූවාහු යනුවෙනි. එහෙයින් අපි ගෝසිංග සාල වනෝද්‍යානයට එළැඹෙන්නමෝ නම් මැනැව. එහි අපි අල්ප වූ ශබ්ද ඇති හෙයින්, අල්ප වූ ජනයා ඇති හෙයින් පහසුවෙන් වාසය කරන්නෙමු’ යි.

එකල්හී ඒ ආයුෂ්මතුන් වහන්සේලා ගෝසිංග සාල වනෝද්‍යානය කරා වැඩියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්ප ශබ්ද ඇති ව, අල්ප ජනයා ඇති ව පහසුවෙන් වාසය කරති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, චාලයෝ කොහි ද? උපචාලයෝ කොහි ද? කක්කටයෝ කොහි ද? කටිම්බයෝ කොහි ද? කටයෝ කොහි ද? කටිස්සංගයෝ කොහි ද? මහණෙනි, ඒ ස්ථවිර ශ්‍රාවක භික්ෂූහු කොහි ගියාහු ද?”

“ස්වාමීනී, මෙහිලා ඒ ආයුෂ්මත්වරුන්ට මේ සිත ඇති වූයේ ය. ‘මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ බොහෝ ලිච්ඡවීහු සොඳුරු සොඳුරු යානයන්ගෙන් ඉදිරියේ ත්, පසුපස ත් මහ සෙනඟ ඇති ව, උස් හඬින් මහ හඬින් යුතු ව භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීම පිණිස මහා වනයට ඇතුළු වූවාහු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ධ්‍යානයෝ ශබ්දයෙන් රිදුම් දෙන කටු සහිත වූවාහු යනුවෙනි. එහෙයින් අපි ගෝසිංග සාල වනෝද්‍යානයට එළැඹෙන්නමෝ නම් මැනැව. එහි අපි අල්ප වූ ශබ්ද ඇති හෙයින්, අල්ප වූ ජනයා ඇති හෙයින් පහසුවෙන් වාසය කරන්නෙමු’ යි.

එකල්හී ස්වාමීනී, ඒ ආයුෂ්මතුන් වහන්සේලා ගෝසිංග සාල වනෝද්‍යානය කරා වැඩියහ. එහි ඒ ආයුෂ්මත්හු අල්ප ශබ්ද ඇති ව, අල්ප ජනයා ඇති ව පහසුවෙන් වාසය කරති.

“සාදු! සාදු! මහණෙනි, ඒ මහා ශ්‍රාවකයෝ මැනැවින් කියන ලද්දාහු ය. මහණෙනි, මවිසින් ධ්‍යානයෝ ශබ්දයෙන් රිදුම් දෙන කටු සහිත වූවාහු යැයි පවසන ලදී. මහණෙනි, මේ කටු දසයක් තිබේ. කවර දසයක් ද යත්; හුදෙකලා විවේකයේ ඇළුනහුට පිරිස සමඟ ඇලී සිටීම කටුවකි. අසුභ නිමිත්ත දියුණු කරමින් සිටින කෙනෙකුට සුභ නිමිත්ත ඇතිවීම කටුවකි. ඉන්ද්‍රියයන්හි දොරටු වසාගෙන සිටින්නහුට විකාර දර්ශනයන් පෙනීම කටුවකි. බඹසර සිල් රකින්නහුට ස්ත්‍රියක හා හිතවත් වීම කටුවකි. ප්‍රථම ධ්‍යානයට ශබ්දය කටුවකි. දෙවෙනි ධ්‍යානයට විතර්ක විචාර කටුවකි. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතිය කටුවකි. හතරවෙනි ධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස කටුවකි. සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සංඥාව ත්, විඳීම ත් කටුවකි. රාගය කටුවකි. ද්වේෂය කටුවකි. මෝහය කටුවකි. මහණෙනි, කටු රහිත ව වාසය කරව්. මහණෙනි, කටුවලින් තොර ව වාසය කරව්. මහණෙනි, රහතන් වහන්සේලා කටු රහිතයෝ ය. මහණෙනි, රහතන් වහන්සේලා කටුවලින් තොර වූවෝ ය. මහණෙනි, රහතන් වහන්සේලා කටු රහිත, කටු වලින් තොර වූවෝ ය.”

සාදු! සාදු!! සාදු!!!

කණ්ටක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M