එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රාජධානියෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ රෝගාතුර බවින් නැගිට, ගිලන් බවින් නැගිට වැඩි කලක් නොවී ය. එසමයෙහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. එනම් ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. මහානාම ශාක්‍ය තෙමේ මෙය ඇසුවේ ය. බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස්ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය.
“ස්වාමීනී, මවිසින් මෙය අසන ලදී. බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුර සකසන්නාහ. ‘නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මාසය ඇවෑමෙන් චාරිකායෙහි නික්ම වඩිනා සේකැ’යි. ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ ද?”
“මහානාමය, සාදු! සාදු! මහානාමය, ඔබ වැනි කුලපුත්‍රයන් හට තථාගතයන් කරා එළැඹ, ‘ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ දැ’යි යන්න මෙසේ විමසන්නහු නම් ඉතා සුදුසු දෙයකි.
මහානාමය, ශ්‍රද්ධා ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. ශ්‍රද්ධා නැත්තහුට නොවේ. අරඹන ලද වීර්යය ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. කුසීතහුට නොවේ. එළැඹ සිටි සිහි ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. සිහි මුළාවූවහුට නොවේ. එකඟ වූ සිත් ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. අසමාහිත තැනැත්තහුට නොවේ. ප්‍රඥාව ඇත්තේ ම යහපත උදා කරගන්නේ වෙයි. දුෂ්ප්‍රාඥහුට නොවේ.
මහානාමය, ඔබ මේ පංච ධර්මය මත පිහිටා තවදුරටත් කරුණු සයක් වැඩිය යුත්තෙහි ය.
මහානාම, මෙහිලා ඔබ තථාගතයන් සිහි කළ යුත්තෙහි ය. එනම් ‘මේ මේ කරුණෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. බුද්ධ වන සේක, භගවා වන සේක’ වශයෙනි.
මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා තථාගතයන් ව සිහි කරයි ද, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත තථාගතයන් අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි.
මහානාමය, ඔබ මෙම බුද්ධානුස්සතිය ගමන් කරන විට ත් දියුණු කරව. සිටගෙන සිටින විට ත් දියුණු කරව. වාඩි වී සිටින විට ත් දියුණු කරව. සැතැපී සිටින විට ත් දියුණු කරව. වැඩකටයුතු කරන විට ත් දියුණු කරව. දූ දරුවන්ගේ වැඩකටයුතු මධ්‍යයේ ත් දියුණු කරව.
තව ද මහානාම, ඔබ ධර්මය සිහි කළ යුත්තෙහි ය. ….(පෙ)…. සංඝයා සිහි කළ යුත්තෙහි ය. ….(පෙ)…. ඔබ තමාගේ සීලය සිහි කළ යුත්තෙහි ය. ….(පෙ)…. තමන්ගේ දන් දීමේ හැකියාව සිහි කළ යුත්තෙහි ය. ….(පෙ)…. ඔබ දෙවිවරුන් ගැන සිහි කළ යුත්තෙහි ය. එනම් ‘චාතුම්මහාරාජික දෙවියෝ සිටිති, ….(පෙ)…. එමෙන් ම එයට ඉහළ ලෝකවලත් තව දෙවියෝ සිටිති. යම්බඳු වූ ශ්‍රද්ධාවකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ ශ්‍රද්ධාවක් පැහැදිලි ව පෙනෙයි. යම්බඳු වූ සීලයකින් ….(පෙ)…. යම්බඳු වූ ශ්‍රැතයකින් ….(පෙ)…. යම්බඳු වූ ත්‍යාගයකින් ….(පෙ)…. යම්බඳු වූ ප්‍රඥාවකින් යුක්ත වූ ඒ දෙවිවරු මෙලොවින් චුත ව ඒ දෙව්ලොව උපන්නාහු ද, මා තුළ ද එබඳු වූ ප්‍රඥාවක් පැහැදිලි ව පෙනෙයි’ වශයෙනි.
මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා තමාගේ ත්, ඒ දෙවිවරුන්ගේ ත් ශ්‍රද්ධාව ද, සීලය ද, ශ්‍රැතය ද, ත්‍යාගය ද, ප්‍රඥාව ද සිහි කරයි නම්, එකල ඔහුගේ සිත රාගයට යටවන්නේ නොවෙයි. ද්වේෂයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. මෝහයට යට වූ සිත් ඇත්තේ නොවෙයි. එකල ඔහුගේ සිත දෙවිවරුන් අරභයා ඍජුව පවතින්නේ ය. මහානාම, ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබයි. ධර්මයෙහි සතුට ලබයි. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බව ලබයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි.
මහානාමය, ඔබ මෙම දේවතානුස්සතිය ගමන් කරන විට ත් දියුණු කරව. සිටගෙන සිටින විට ත් දියුණු කරව. වාඩි වී සිටින විට ත් දියුණු කරව. සැතැපී සිටින විට ත් දියුණු කරව. වැඩකටයුතු කරන විට ත් දියුණු කරව. දූ දරුවන්ගේ වැඩකටයුතු මධ්‍යයේ ත් දියුණු කරව.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය මහානාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M