අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

11.2.4. සුභූති සුත්තං

11.2.4. සුභූති තෙරුන්ට වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් සුභූති තෙරණුවෝ ශ්‍රද්ධ නම් භික්ෂුව සමඟ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සුභූති තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය පැවසූ සේක.

“සුභූතියෙනි, මේ භික්ෂුවගේ නම කුමක්ද?”

“ස්වාමීනී, ශ්‍රද්ධ නම් උපාසක (අනේපිඬු සිටුතුමා) ගේ පුත්‍ර වූ ශ්‍රද්ධාවෙන් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූ මේ භික්ෂුව ගේ නම ශ්‍රද්ධ ය.”

“කිම? සුභූතියෙනි, ශ්‍රද්ධ උපාසකගේ පුත්‍ර වූ ශ්‍රද්ධායෙන් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූ මේ ශ්‍රද්ධ භික්ෂුව ශ්‍රද්ධා ඇත්තහුගේ චරිතාපදානයෙන් යුක්ත ද?”

“භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි. මම් මේ භික්ෂුව ශ්‍රද්ධා ඇත්තහුගේ චරිතාපදානයන්හි යුක්ත දැයි යම් කරුණෙකින් දැනගන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ ඒ ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාචරිතාපදානය ගැන වදාරණ සේක්වා”

“එසේ වී නම් සුභූති, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේය ස්වාමීනී”යි ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

1. “සුභූති, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු වැ සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුවක් සිල්වත් වෙයි නම් ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ නම් මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

2. තව ද සුභූති, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කැරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. සුභූති, යම් හෙයකින් භික්ෂුව ධර්මය බොහෝ කොට අසන ලද්දේ වෙයි ද, ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ වෙයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

3. තව ද සුභූති, භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි ද, කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි ද, කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

4. තව ද සුභූති, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද, කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද, ඉවසීමෙන් යුක්ත වෙයි ද, අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

5. තව ද සුභූති, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතුව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව සබ්‍රහ්චාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතුව ඇද්ද, එහිලා දක්ෂ වෙයි ද, අලස බවින් තොර වෙයි ද, එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි ද, ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ වෙයි ද පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ වෙයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

6. තවද සුභූති, භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි. සුභූති යම් හෙයකින් භික්ෂුව ධර්මයට කැමති වන්නේ ද, ප්‍රිය වූ බසින් දහම් දෙසන්නේ ද, ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

7. තව ද සුභූති, භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව පටන් ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි ද, අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි ද, දැඩි වීර්යයකින් යුක්ත වෙයි ද, කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

8. තව ද සුභූති, භික්ෂුව මේ ජීවිතයේ දී පහසු විහරණය ලබන ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ නිදුකින් ම, සුවසේ ම, පහසුවෙන් ම ලබන්නේ වෙයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව මේ ජීවිතයේ දී පහසු විහරණය ලබන ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ නිදුකින් ම, සුවසේ ම, පහසුවෙන් ම ලබන්නේ වෙයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

9. තව ද සුභූති, භික්ෂුව අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, උපත් තුනක් වශයෙන් ද, උපත් සතරක් වශයෙන් ද, උපත් පහක් වශයෙන් ද, උපත් දහයක් වශයෙන් ද, උපත් විස්සක් වශයෙන් ද, උපත් තිහක්, උපත් හතළිහක්, උපත් පණහක්, උපත් සියයක්, උපත් දහසක්, උපත් සිය දහසක් වශයෙන් ද අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරයි. එමෙන් ම ‘මම් අසවල් තැන සිටියෙමි. මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍රයෙන් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු අයුරින් සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත වැ ඒ මම් අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම් මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු් ආහාර ගත්තෙමි. මෙබඳු සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම් එයින් චුත වැ මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. සුභූති, යම් හෙයකින් භික්ෂුවක් අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි ද, එනම් එක උපතක් ද, උපත් දෙකක් ….(පෙ)…. මේ අයුරින් කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

10. තව ද සුභූති, භික්ෂුව මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි. සුභූති, යම් හෙයකින් භික්ෂුව විශුද්ධ වූ දිවැසින් ….(පෙ)…. කර්මානුරූපව උපදින සත්වයන් දනියි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.

11. තව ද සුභූති, භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි. සුභූති, යම් හෙයකින් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ….(පෙ)…. අත්දැක එයට පැමිණ වාසය කරයි නම්, මෙය ද සුභූතියෙනි, සැදැහැවත් භික්ෂුවකගේ ශ්‍රද්ධා චරිතාපදානයෙකි.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සැදැහැවත් භික්ෂුවකගේ යම් මේ ශ්‍රද්ධා චරිතාපදානයෝ වදාරණ ලද්දාහු නම් ඒවා මේ භික්ෂුව තුළ දකින්නට ලැබේ. මේ භික්ෂුව ද ඒවා තුළ සිටින බව පැහැදිලි ව පෙනේ.

1. ස්වාමීනී, මේ භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු වැ සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.

2. ස්වාමීනී, මේ භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කැරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.

3. ස්වාමීනී, මේ භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි.

4. ස්වාමීනී, මේ භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි.

5. ස්වාමීනී, මේ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතුව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි.

6. ස්වාමීනී, මේ භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි.

7. ස්වාමීනී, මේ භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි.

8. ස්වාමීනී, මේ භික්ෂුව මේ ජීවිතයේ දී පහසු විහරණය ලබන ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ නිදුකින් ම, සුවසේ ම, පහසුවෙන් ම ලබන්නේ වෙයි.

9. ස්වාමීනී, මේ භික්ෂුව අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.

10. ස්වාමීනී, මේ භික්ෂුව මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් ….(පෙ)…. කර්මානුරූපව උපදින සත්වයන් දනියි.

11. ස්වාමීනී, මේ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ….(පෙ)…. විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සැදැහැවත් භික්ෂුවකගේ යම් මේ ශ්‍රද්ධා චරිතාපදානයෝ වදාරණ ලද්දාහු නම් ඒවා මේ භික්ෂුව තුළ දකින්නට ලැබේ. මේ භික්ෂුව ද ඒවා තුළ සිටින බව පැහැදිලි ව පෙනේ.”

“සුභූතියෙනි, සාදු! සාදු! එසේ වී නම් සුභූති ඔබ මේ ශ්‍රද්ධ භික්ෂුව සමඟ වාසය කරව. සුභූතියෙනි, යම් විටෙක ඔබ තථාගතයන් දකින්නට කැමති වන්නෙහි නම්, මේ ශ්‍රද්ධ භික්ෂුව ත් සමඟ තථාගතයන් දකින්නට පැමිණෙව.”

සාදු! සාදු!! සාදු!!!

සුභූති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M