ඛුද්දක නිකාය

උදාන පාළි

8.3. තතිය නිබ්බාන සුත්තං

8.3. ඒ අමා නිවන ගැන වදාළ තෙවෙනි උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන ගැන කරුණු කැටි කරන ලද දහම් කතාවෙන් කරුණු පෙන්වා දෙනවා. එහි සමාදන් කරවනවා. එහි උනන්දු කරවනවා. නිවන් සුවය ගැන හිතේ සතුට ඇති කරවනවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත්, ගොඩාක් ආශාවෙන්, නුවණින් සිහි කරමින්, සම්පූර්ණයෙන් අවධානය යොමු කරගෙන, කන් යොමු කරගෙන ඒ ධර්මය අහගෙන ඉන්නවා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“පින්වත් මහණෙනි, හේතු ඵල දහමට අයිති නොවන දෙයක් තියෙනවා. එය හටගත් දෙයක් නොවෙයි. පහළ වූ දෙයක් නොවෙයි. කිසිවෙකු විසින් කළ දෙයක්ද නොවෙයි. පින්වත් මහණෙනි, හට නොගත් දෙයක් වන, පහළ නොවූ දෙයක් වන, කිසිවෙකු විසින් නොකළ දෙයක් වන, මේ හේතු ඵල දහමට අයිති නොවන දේ නොතිබුනා නම්, මේ හට ගත්තා වූ, පහළ වී තිබෙන, සකස් වී තිබෙන, හේතු ඵල දහමට අයිති වූ දේවල්වලින් සදහටම නිදහස් වීමක් කොහොම නම් සිදුවෙන්නද?

යම් විදිහකින් පින්වත් මහණෙනි, මේ හට නොගත් දෙයක් වන, පහළ නොවූ දෙයක් වන, කිසිවෙකු විසින් නොකළ දෙයක් වන, හේතුඵල දහමට අයිති නොවන දෙයක් වන මෙය තියෙන නිසාමයි, මේ හටගත්තා වූ, පහළ වී තිබෙන්නා වූ, සකස් වී තිබෙන්නා වූ, හේතුඵල දහමට අයිති වූ දෙයින් සදහටම නිදහස් වීමක් තියෙන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M