ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.1.1. ලෝභ සුත්තං

1.1.1. ලෝභය අත්හැර දැමීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, එකම දෙයක් අත්හැර දමන්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. ඒ එකම එක දේ මොකක්ද? පින්වත් මහණෙනි, ලෝභය නම් වූ ඒ එකම දෙය අත්හරින්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යම්කිසි ලෝභයකින් ඇලුනොත්, ඒ අයට යන්න වෙන්නේ දුගතියට තමයි. නමුත් ඔය කාරණය විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනා ඒ ලෝභය අත්හැරලා දාන්නේ අවබෝධයෙන්මයි. ඒ විදිහට අත්හැරලා දාපු, ආර්ය උතුමන් කවදාවත් මේ ලෝකයට යළි එන්නේ නෑ. (සුද්ධාවාස බඹලොව ඕපපාතිකව ඉපිද පිරිනිවන් පානවා)”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M