ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

2.1.3. තපනීය සුත්තං

2.1.3. පසුතැවීම ඇති කරවන දේ ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, පසුතැවීම ඇති කරවන කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක මොනවාද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් ඉන්නවා, යහපත් දේවල් කර කියාගෙන නෑ. කුසල් කරගෙනත් නෑ. පිහිට පිණිස පවතින පින් කරගෙනත් නෑ. ඔහු පව් තමයි කරලා තියෙන්නේ. රෞද්‍ර දේවල් තමයි කරලා තියෙන්නේ. කිලුටු දේවල් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔහු ‘අනේ! මට යහපත් දේවල් කරගන්න බැරිවුනා’ කියලා තැවෙනවා. ‘අනේ! මගෙන් පව් කෙරිල තියෙනවා’ කියලත් පසුතැවෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි පසුතැවීම ඇති කරවන කරුණු දෙක.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“කයෙනුත් දුසිරිත් කරලා, වචනයෙනුත් දුසිරිත් කරලා, මනසිනුත් දුසිරිත් කරලා, තවත් දොස් සහිත දේවලුත් කරල නම් ඉන්නේ,

කුසල් දහම් කරගෙනත් නෑ. අකුසල්මයි බහුල වශයෙන් කරගෙන තියෙන්නේ. කය බිඳී මිය පරලොව ගියාට පස්සේ ඒ තැනැත්තා උපදින්නේ නිරයේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M