ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

2.2.10. ජාගරිය සුත්තං

2.2.10. නිදි වැරීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, භික්ෂුව නිදිවරමින් භාවනා කරනවා නම්, සිහියෙන් ඉන්නවා නම්, සිහි නුවණින් යුක්ත නම්, ඔහුගේ සිතත් එකඟ නම්, දහමෙන් ප්‍රමුදිතව පහන් වූ සිතින් යුතුව අවස්ථානුකූලව සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ කුසල් දහම් තුළ විදර්ශනාව වඩනවා නම්, පින්වත් මහණෙනි, ඔය විදිහට නිදිවරාගෙන භාවනා කරන, සිහියෙන් ඉන්න, සිහි නුවණින් යුතුව වාසය කරන, එකඟ සිතක් තියෙන, සිතත් ප්‍රමුදිත වෙලා තියෙන, හැම අතින්ම පහන් වූ සිතක් තියෙන, අවස්ථානුකූලව කුසල් දහම් තුළ විදසුන් වඩන, භික්ෂුව මෙන්න මේ ඵල දෙක අතරින් එකක් තමයි කැමති වෙන්න තියෙන්නේ. මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හරි, එහෙම නැතුව කෙලෙස් ටිකක් ඉතුරු වුනොත් අනාගාමී වීම හරි තමයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“නිදිවරමින් භාවනා කරන මහණෙනි, මෙය අසන්න. යම් කෙනෙක් නිදාගෙන ඉන්නවා නම්, දැන් ඉතින් ඒ අය අවදි වෙන්න. නිදාගෙන ඉන්නවාට වඩා නිදි වැරීමමයි ශ්‍රේෂ්ඨ වන්නේ. නිදි වරමින් භාවනා කරන කෙනාට කිසිම භයක් ඇතිවෙන්නෙ නෑ.

යම් කෙනෙක් නිදි වරමින් භාවනා කරනවා නම්, සිහියෙනුත් හොඳ නුවණිනුත් යුක්ත නම්, ඔහුගේ සිතත් එකඟ නම්, ප්‍රමුදිත නම්, හැම අතින්ම පහන් වූ සිතින් යුක්ත නම්, අන්න ඒ භික්ෂුව අවස්ථානුකූලව මේ පටිච්ච සමුප්පාද ධර්මය මනාකොට විමසනවා. එකඟ සිත් ඇති ඔහු තමයි මේ මෝහය නමැති අන්ධකාරය නසා දමන්නේ.

ඒ නිසා ඒකාන්තයෙන්ම නිදිවරමින් භාවනා කරන කෙනෙක්ම ඇසුරු කරන්න. කෙලෙස් තවන වීරිය ඇති, තැනට සුදුසු නුවණ ඇති, ධ්‍යාන ලාභී ඒ භික්ෂුව ජාති ජරාවන්ට හේතුවන බැඳීම් සිඳ බිඳ දමනවා. මේ ජීවිතයේදීම ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M