ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

2.2.7. නිබ්බානධාතු සුත්තං

2.2.7. නිර්වාණ ධාතුව ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? සෝපාදිශේෂ නිර්වාණ ධාතුවත්, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවත්.

පින්වත් මහණෙනි, මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරපු කෙනෙක්. නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්. උතුම් වූ අරහත්වය පිණිස කළ යුතු සියල්ලම කරපු කෙනෙක්. කෙලෙස් බර වීසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්වයට පත් වූ කෙනෙක්. සියලු භව බන්ධන ක්ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. ඒ රහත් භික්ෂුවටත් මේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් පහම තියෙනවා. ඒවා තවම නැතිවෙලා නැති නිසා මනාප අමනාප වූ සැප දුක් ලැබෙනවා. නමුත් ඒ රහත් භික්ෂුවගේ රාගය ප්‍රහීණයි. ද්වේෂය ප්‍රහීණයි. මෝහය ප්‍රහීණයි. මේක තමයි පින්වත් මහණෙනි, සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ.

පින්වත් මහණෙනි, මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරපු කෙනෙක්. නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්. උතුම් වූ අරහත්වය පිණිස කළ යුතු සියල්ලම කරපු කෙනෙක්. කෙලෙස් බර වීසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්වයට පත් වූ කෙනෙක්. සියලු භව බන්ධන ක්ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. පින්වත් මහණෙනි, ඒ රහතන් වහන්සේගේ ඒ විඳින සියලු විඳීම් කිසි ලෙසකිනුත් තණ්හාවෙන් නොපිළිගන්නා නිසා මේ ජීවිතයේදීම (පිරිනිවන් පෑමෙන්) සිසිල් වෙලා යනවා. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සදහම් ඇස් ඇති, කෙලෙස් සමඟ කිසි එකතුවක් නැති, අකම්පිත සිත් ඇති ඒ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ ධාතු දෙකක් වදාළා. එක නිර්වාණ ධාතුවක් මේ ජීවත් වෙලා ඉන්න කාලයේමයි. ඒක සෝපාදිශේෂයි. භවයේ උපදින්න සිද්ධ වෙන දේවල් ක්ෂය වෙලා. අනික් නිර්වාණ ධාතුව අනුපාදිශේෂයි. ඒකෙන් තමයි නැවතත් කිසි භවයක් හට නොගන්නේ. ඒක සිද්ධ වෙන්නේ පිරිනිවන් පෑවට පස්සෙයි.

යම් කෙනෙක් කෙලෙස්වලින් සකස් නොවූ මේ නිවන අවබෝධ කරගෙන භව බන්ධන සිඳලා දාලා, සියලු කෙලෙස්වලිනුත් නිදහස් වුනු සිතින් නම් ඉන්නේ, ඒ රහතන් වහන්සේලා ධර්මයේ සාරයට පැමිණිලා කෙලෙසුන් ක්ෂය වූ ඒ අමා නිවනෙහි සිත් අලවාගෙන ඉන්නේ. අකම්පිත සිත් ඇති ඒ රහත් මුනිවරු සියලු භවයන් ප්‍රහාණය කළා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M