ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.2.4. අද්ධා සුත්තං

3.2.4. කාලය ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ කාල තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? අතීත කාලය, අනාගත කාලය, දැන් පවත්නා කාලය. පින්වත් මහණෙනි, මේ තමයි කාල තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“මේ මිනිසුන් හිතාගෙන ඉන්නේ මේවා දිරලා යන්නෙ නෑ කියලා. ඒ අදහසේම තමයි බැසගෙන ඉන්නේ. ඔවුන් මේ නැසී යාමේ ස්වභාවය අවබෝධ නොකරන නිසාම ආයෙ අහුවෙන්නේ මාරයාගේ බන්ධනයටමයි.

මේ නැසී යන ස්වභාවය අවබෝධ කරන කෙනෙක් ඉන්නවා. ඔහු ‘මේ කතා බස් කරන කෙනා මම, මාගේය, මාගේ ආත්මය’ වශයෙන් මුලාවෙන් හිතන්නේ නෑ. ඒකට හේතුව තමයි ඔහු තම සිතින් ඒ ශාන්ත වූ අමා නිවන ස්පර්ශ කිරීම.

ඔහු ඒකාන්තයෙන්ම පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන ශාන්ත සිත් ඇතිව ඒ අමා නිවනෙහි ඇලී ධර්මයේ පිහිටා සිටිනා නිසා තණ්හාව ගෙවා දමලා අවබෝධයෙන් පරතෙරට ගිහින් යළි දෙව් මිනිස් ආදී ව්‍යවහාරයකට පැමිණෙන්නේ නෑ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M