භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ අකුසල විතර්ක තුනක් තියෙනවා. ඒවායින් පුද්ගලයාව අන්ධ කරනවා. නුවණැස නැති කරනවා. අඥානයෙක් කරනවා. ප්‍රඥාව නැති කරනවා. දුක පැත්තට ඇදලා දමනවා. ඒ අමා නිවන අවබෝධ නොවීම පිණිසම එය පවතිනවා. ඒ තුන මොනවාද?
පින්වත් මහණෙනි, කාම විතර්කය පුද්ගලයාව අන්ධ කරනවා. නුවණැස නැති කරනවා. අඥානයෙක් කරනවා. ප්‍රඥාව නැති කරනවා. දුක පැත්තට ඇදලා දමනවා. ඒ අමා නිවන අවබෝධ නොවීම පිණිසම එය පවතිනවා. පින්වත් මහණෙනි, ව්‍යාපාද (ද්වේෂය) විතර්කය පුද්ගලයාව අන්ධ කරනවා. නුවණැස නැති කරනවා. අඥානයෙක් කරනවා. ප්‍රඥාව නැති කරනවා. දුක පැත්තට ඇදලා දමනවා. ඒ අමා නිවන අවබෝධ නොවීම පිණිසම එය පවතිනවා. පින්වත් මහණෙනි, විහිංසා (හිංසා කිරීමේ) විතර්කය පුද්ගලයාව අන්ධ කරනවා. නුවණැස නැති කරනවා. අඥානයෙක් කරනවා. ප්‍රඥාව නැති කරනවා. දුක පැත්තට ඇදලා දමනවා. ඒ අමා නිවන අවබෝධ නොවීම පිණිසම එය පවතිනවා.
පින්වත් මහණෙනි, මේ තමයි පුද්ගලයෙක්ව අන්ධ කරන, නුවණැස නැති කරන, අඥානයෙක් කරන, ප්‍රඥාව නැති කරන, දුක පැත්තට ඇදලා දමන, අමා නිවන අවබෝධ නොවීම පිණිසම පවතින, අකුසල විතර්ක තුන.
පින්වත් මහණෙනි, මේ කුසල විතර්ක තුනක් තියෙනවා. ඒවා පුද්ගලයෙක්ව අන්ධ කරන්නේ නෑ. නුවණැස ඇති කරනවා. ඤාණය ඇති කරනවා. ප්‍රඥාව වැඩි දියුණු කරනවා. දුක පැත්තට ඇද දමන්නෙ නෑ. ඒ අමා නිවන පිණිස හේතු වෙනවා. ඒ තුන මොනවාද?
පින්වත් මහණෙනි, නෙක්ඛම්ම (කෙලෙස්වලින් නික්මීම ගැන) විතර්ක පුද්ගලයෙක්ව අන්ධ කරන්නේ නෑ. නුවණැස ඇති කරනවා. ඤාණය ඇති කරනවා. ප්‍රඥාව වැඩි දියුණු කරනවා. දුක පැත්තට ඇද දමන්නෙ නෑ. ඒ අමා නිවන පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, අව්‍යාපාද (තරහ නැති බව) පුද්ගලයෙක්ව අන්ධ කරන්නේ නෑ. නුවණැස ඇති කරනවා. ඤාණය ඇති කරනවා. ප්‍රඥාව වැඩි දියුණු කරනවා. දුක පැත්තට ඇද දමන්නෙ නෑ. ඒ අමා නිවන පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, අහිංසා විතර්ක පුද්ගලයෙක්ව අන්ධ කරන්නේ නෑ. නුවණැස ඇති කරනවා. ඤාණය ඇති කරනවා. ප්‍රඥාව වැඩි දියුණු කරනවා. දුක පැත්තට ඇද දමන්නෙ නෑ. ඒ අමා නිවන පිණිස හේතු වෙනවා.
පින්වත් මහණෙනි, මේ තමයි පුද්ගලයෙක්ව අන්ධ කරන්නේ නැති, නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන, ප්‍රඥාව වැඩි දියුණු කරන, දුක පැත්තට ඇද දමන්නේ නැති, ඒ අමා නිවන් පිණිස හේතු වන, කුසල විතර්ක තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කුසල විතර්ක තුනම තමයි සිහි කරමින් ඉන්නේ. අකුසල විතර්ක තුන අත්හැරලා දානවා. හරියට වැස්ස වැටිලා දූවිල්ල නැති කරලා දානවා වගේ තමයි ඔහුගේ ඒ අකුසල විතර්කත්, ඒවා ගැන හිත හිත ඉන්න එකත් සංසිඳිලා යන්නේ. ඉතින් ඔය විදිහට අකුසල විතර්ක සංසිඳී ගිය සිතින්, ඔහු මේ ජීවිතයේදීම ඒ ශාන්ත නිවන් සුවයට පැමිණියා වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M