භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මමත් (සියලු පව් බැහැර කළ අරුතින්) බ්‍රාහ්මණයෙක්. මගෙන් සදහම් ඉල්ලන්න සුදුසුයි. හැම වෙලාවෙම ධර්ම දානය දෙන්න සෝදා ගත් අත් ඇතුවයි මම ඉන්නේ. අන්තිම සිරුරයි මේ දරන්නේ. ‘දුක’ නමැති හුල උදුරා දමන උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයා මමයි. ඔබ තමයි මගේ දරුවෝ. මා ළයෙහි ඔබ උපන්නේ. දහම් මුවින් ඉපදිලා ඉන්නේ. ධර්මයෙන් ඉපදිලා ඉන්නේ. ධර්මයෙන් නිර්මිත වෙලා ඉන්නේ. ධර්මය දායාද කොටයි ඉන්නේ. ආමිසය දායාද කරගෙන නම් නොවෙයි.
පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි ආමිස දානයත්, ධර්ම දානයත්. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතර මේ ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ.
පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීමත් දෙකක් තියෙනවා. ඒ තමයි ආමිසය බෙදා හදා ගැනීමත්, ධර්මය බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙක අතර අග්‍ර වෙන්නේ ධර්මය බෙදා හදා ගැනීම ම තමයි.
පින්වත් මහණෙනි, අනුග්‍රහයනුත් දෙකක් තියෙනවා. ඒ තමයි ආමිසයෙන් කරන අනුග්‍රහයත්, ධර්මයෙන් කරන අනුග්‍රහයත්. පින්වත් මහණෙනි, මේ අනුග්‍රහයන් දෙක අතර අග්‍ර වෙන්නේ මේ ධර්මයෙන් කරන අනුග්‍රහය ම යි.
පින්වත් මහණෙනි, මේ යාග දෙකක් තියෙනවා. ඒ තමයි ආමිස යාගයත්, ධර්ම යාගයත්. පින්වත් මහණෙනි, මේ යාග දෙක අතරින් වඩාත්ම අග්‍ර වෙන්නේ මේ ධර්ම යාගයමයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම් කෙනෙක් ධර්ම යාගය කොට වදාළා නම්, එහිලා නොමසුරු නම්, ඒ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති තථාගත බුදුරජාණන් වහන්සේ තමයි. හැම භවයෙන්ම එතෙරට වැඩි, දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ, එබඳු වූ තථාගතයන් වහන්සේට ලෝ සතුන් වන්දනා කරනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M