මා විසින් අසා දැන ගන්නා ලද්දේ මෙසේය.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ අග්ගාළව නම් පූජ්‍යස්ථානයෙහි ය. එකල්හි ආයුෂ්මත් වංගීස තෙරුන්ගේ උපාධ්‍යායන් වහන්සේ වූ නිග්‍රෝධ කප්ප නම් තෙරණුවෝ අග්ගාළව පූජ්‍යස්ථානයේ දී නොබෝ දා පිරිනිවන් පෑහ.
එකල ආයුෂ්මත් වංගීස තෙරණුවෝ හුදෙකලාවේ භාවනාවෙන් වසන විට මේ අදහස ඇති විය. “කිම, මාගේ උපාධ්‍යායන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද? නොහොත්, පිරිනිවන් නො පෑ සේක් ද?”යි.
එවිට ආයුෂ්මත් වංගීස තෙරණුවෝ සවස් කල භාවනාවෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සාදර භක්තියෙන් වැඳ එකත්පස්ව හිඳ ගත්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් වංගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසූහ.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, හුදෙකලාවේ භාවනාවෙන් වසද්දී මගේ සිතෙහි මෙබඳු සංකල්පනාවක් ඇති විය. “කිම, මගේ උපාධ්‍යායන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද? නොහොත් පිරිනිවන් නො පෑ සේක් ද?”යි
ඉක්බිති ආයුෂ්මත් වංගීස තෙරණුවෝ සිය අසුනෙන් නැගිට සිවුර ඒකාංශ කොට පොරවා, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින්, ගාථාවන් ප්‍රකාශ කර සිටියේ මෙසේ ය.
කැළඹුන සැක කුකුස – මෙහි දි ම සිඳ දමන
නුවණින් අලාමක – මුනිඳුන් වෙත පැමිණ
විමසා සිටිමි සමණෙකු ගැන – සිත නිවුණ
අපවත් වුණා හේ – පැතිරුව ගුණ නුවණ
වෙහෙර දී අග්ගාළව – සිදු වූයේය මෙ කරුණ
“නිග්‍රෝධ කප්ප” යන – නමින් ඔහු පරසිදු වුනි
ඒ නම ඔහුට තැබුවේ – ඔබ වහන්සේය මුනිඳුනි
නිතර හේ නමඳිමින් මුනිඳුන් – අම නිවන් සුව පතමින්
දැඩි වීරිය ද වඩමින් – එහි විසී සදහම් ද දකිමින්
සැකි කුල ජනිත සමිඳුන් හැම දෙය දකින
අපි හැම කැමති වෙමු දැන ගන්නට සොඳින
ශ්‍රාවක තෙරුන් ගැන යොමු විය අප සවන
කිව මැන අපට එතුමන් ගේ දිවි ගමන
නුඹ වහන්සේ ම ය – අපගේ ශාස්තෘහු!
නුඹ වහන්සේ ම ය – අනුත්තර සමිඳාණෝ!
සක් දෙවිඳුන් ලෙසට දෙව් කැල මැද සිටින
දකිනා හාත්පස ඔබ හට ඇති නුවණ
මහ පැණවතාණනි, මේ ගැන පවසමින
දුරු කළ මැනව හැම සැක අප තුළ තිබෙන
වදහළ මැනව අප හට
වැඩියේ ද ඔහු නිවනට?
පවතින කෙලෙස් ගැට ලොව මග මුළාවන
අඳුරට බරව අනුවණ සැක සදා දෙන
ඒවා නොමැත ඔබ හට පත් “තථාගත”
“උත්තම ඇසකි” ඔබ ලොව හැම දෙනා හට
ඝන වැහි වළාකුල සුළඟින් ගසා යන
විලසින් සිත උපන් කෙලෙසුන් නසාලන
කෙනෙකුන් නොමැති නම් ගුණ නැණ උදා වුණ
අවිඳු අඳුර ම පවතී – සියලු ලොව තුළ පැතිරී
නුවණින් දිළෙන මිනිසුන් – ඇති නොවෙති කිසි ලෙසකින්
නැණවත් මුනිවරුන් – සිටිති ලොව එළිය කරමින්
සිතේ මට එලෙසින් – සමිඳුනේ, ඔබ එබඳු විලසින්
විදසුන් දැහැන් යුතු – ඔබ වෙතට ආවෙමු අපි
පවසනු මැනව මේ පිරිස මැද – අප ගේ කප්ප හිමි ගැන
වහ අරුත් රස වැගිරෙන – මිහිරි ලෙස බස මුසුවන
මනරම් නදින් යුතු – ඒ දහම් පැවසුව මැන
හංසයෙකු ගෙල ඔසවා – කූජන කරන විලසට
මිහිරි සරයෙන් අප හට – මේ ගැන කියා දෙනු මැන
ඇද නොමැති ගති ඇති – අපි සියළු දෙන අසා සිටිමුව
ඉපදෙන මැරෙන ලොව – ඉතිරි නැතිව ම නැති කළ
ගරහා සියළු පව් – සදහට ම සෝදා හළ
සමිඳුන් ලවා මම – මිහිරි බණ දෙසවන්නෙමි
එන එන දෙය සිතට කැමති ව එය කරන
පුහුදුන් දනන් ලෙස කිසිදින නොම කරන
මුනිවරු තථාගත මනුලොව වැඩවෙසන
නුවණින් හසුරුවති සියළු ම දෙය කරන
පැහැදිලි සරල ලෙස සදහම් පතුරුවන
ඇද නැති කිසිවිටක ගති ගුණ ඇති නුවණ
වඳිනෙමු බුදුසමිඳු පිළිගෙන අපි සැවොම
මහ පැණවතාණෙනි, නැණ ගුණ දුන මැනව.
කුඩා මහත් සියළු උත්තම දහම් ගැන
දැනගත් වීරයාණනි ලොව අලාමක
මුදවා ගත මැනව අප හැම මුළාවන
නියඟෙකින් තැවුනු කල – මහ වැසි කැමති විලසින
ඔබ බස කැමති වෙමු අපි – දහම් වැසි වස්සනු මැන
නිවන ම කැමති වී හැසිරුනි බඹසර ද
අපගේ කප්ප තෙරුනට එය සඵල වි ද?
හැම දුක නිවා පිරිනිවන ට පැමිණුනි ද?
කෙලෙසුන් ඇති ව යළි උපතට පැමිණියෙ ද?
(භාග්‍යවතුන් වහන්සේ)
ලැග සිටි බොහො කලක් මරු ගේ සැඩ පහරේ
බැඳුනේ නාම රූපය ඇති දිය දහරේ
දුරු කොට තණ්හාව සිඳ බිඳ මේ වාරේ
එතෙරම ගියේ උපත මරණය නැති ආරේ
(වංගීස තෙරණුවෝ)
උතුම් ඉසිවරයාණනි,
පහන් වී ගියෙමි මම – අසා දැන් ඔබ ගේ බස
භගවතාණන්ගෙන් මා ඇසූ දෙය – හිස් නොම වීය මා හට
නො ම රැවටීය මා – උතුම් බමුණාණෝ
කියන දෙය එලෙසින් ම කරනා
හෙතෙම බුදු සමිඳු ගේ සව්වෙකි
මරුගෙ මායා පිරුණු දැඩි දැළ
නුවණින් ම සිඳ බිඳ දැමී
දුටු සේක භගවතාණන් – කප්ප තෙරිඳු ගෙ සියළු සුලමුල
සැබැවින් ම කප්ප තෙරිඳුන් – දුක සේ එතෙර විය යුතු
මේ මාර විජිතයෙන් – සදා එතෙර ට වැඩියෝ
නිග්‍රෝධකප්ප තෙරුන් නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M