(හේමක)
කළින් මුණ ගැසුන උදවිය – කීවේ නම් මට දහමක්
ගෞතම සසුනෙන් තොර වූ – දෙයක්ය මා දැනගත්තේ
“මෙහෙමයි එය වුණේ කියයි – මේ ලෙස වන්නේය කියයි”
එහෙත් ඔවුන්ගේ ඒ බණ – හරසුන් වචනයන් පමණි
එසේ කියන සියළු දෙයම – හදයි වාද විවාදයන්
මට නම් ඒ මතයන් ගැන – නොමැත්තේය කිසි රුචියක්
එහෙයින් මුනිඳාණනි, මට – කියා දෙන්න සිරි සදහම්
ජීවිතයේ දුක සකසන – තණ්හාවම නැති කරවන
ලොවේ යම් දුකක් තිබෙයිද – නුවණින් හඳුනාගෙන එය
සිහි නුවණින් හැසිරෙන විට- නුවණැති අය මේ ලොව තුළ
තරණය කර දමන්නේද – මේ තණ්හා සැඩ දිය කඳ
අන්න එවැනි සිරි සදහම් – මා හට පවසාලනු මැන
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් හේමක, මෙ ලොවේ – පියකරු විලසින් පවතින
අහන දකින දෙයක් වේද – සුවඳක්, රස, පහස වේද
සිතනා යම් දෙයක් වේද – එ හැම කෙරෙහි ඇති ඇල්ම ම
දුරු කොට ලබනා දෙය නම් – අමරණීය නිවනම වේ
එසේ යමෙක් සිහි නුවණින් – මෙහිදිම දැක අමා නිවන්
මැනවින් නිවිලා යයි නම් – උපශාන්ත ඒ උතුමන්
ලොවේ තිබෙන තණ්හාවයි – තරණය කෙරුවේ සදහට
හේමක නිසා වදාළ දෙසුම මෙහි අට වැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M