258. අපි කාම්බෝජයට යන්නේ ධනය හම්බ කරගන්නයි. ඒක තමයි අපේ ගමනේ අරුත. ඉතින් මේ දෙවියා කැමති දේ දෙන කෙනෙක්. අපි මේ දෙවියාව අරගෙන යමු.
259. අපි හොඳින් හරි බලහත්කාරයෙන් හරි මේ දෙවියාව අල්ලා ගනිමු. යානයක නංවාගෙන ඉක්මනින්ම ද්වාරවතී නගරයට යමු.
260. එම්බා මිනිසුනි, යම් ගහක් සෙවණේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම් ඒ තැනැත්තා තමන්ට සෙවණ දුන්න ගහේ අතු ඉති බිඳින්නෙ නෑ. ඒක මිත්‍රදෝහී පව් වැඩක්.
261. දෙවිය, යම් ගහක් සෙවණේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම් ඒ වගේම ඔහුට ඒ ගහෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් එයා ඒ ගහේ කඳ වුනත් කපල ගත්තට කමක් නෑ.
262. එම්බා මිනිසුනි, යම් ගහක් සෙවණේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම් ඒ තැනැත්තා තමන්ට සෙවණ දුන්න ගහේ කොළයක්වත් බිඳින්නෙ නෑ. ඒක මිත්‍රදෝහී පව් වැඩක්.
263. දෙවිය, යම් ගහක් සෙවණේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා නම්, නිදනවා නම් ඒ වගේම ඔහුට ඒ ගහෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් එයා ඒ මුළු ගහ වුනත් කපල ගත්තට කමක් නෑ.
264. යම්කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම් යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම්, ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නෑ, බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා වර්ණනා කොට වදාළේම කෙළෙහි ගුණ දන්නා බවමයි.
265. යම්කිසි කෙනෙක් එක රැයක් හරි ගෙදරක වාසය කරනවා නම් යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලයෙක් කෑම බීමක් ලබනවා නම්, ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් සිතින්වත් සිතන්න හොඳ නෑ. සත්පුරුෂ දෑතින් යුතු කෙනා මිත්‍රද්‍රෝහියාව බැහැර කරනවා.
266. යම් කෙනෙක් කලින් උදව් උපකා කරපු කෙනෙකුට පස්සෙ පාපී ක්‍රියාවලින් පෙළනවා නම් ඒ උදව් ලැබූ පුද්ගලයාව වනසන කෙනා යහපතක් නම් දකින්නෙ නෑ.
267. යමෙක් තමාට ද්වේෂ නොකරද්දීත් ඒ ද්වේෂ නොකරන පුද්ගලයාට ද්වේෂ කරනවා නම් ඒ පිරිසිදු වූ කෙලෙස් රහිත පුද්ගලයාට ද්වේෂ කරනවා නම් ඒකෙන්ම ඒ අඥානයා පව් රැස් කරගන්නවා. ඒ පව තමන් කරා එන්නෙ සියුම් දූවිල්ලක් උඩු සුළඟට දැම්මා වගේ.
268. මාව දෙවියෙකුටවත්, මිනිහෙකුටවත් යටපත් කරන්න බෑ. මං ඉසුරුමත් වෙලා ඉන්නෙ ලෙහෙසියෙන් මාව යටත් කරන්ට බැරි විදිහටයි. මං පරම ඉර්ධියට පත් වුන දෙවියෙක්. මට ඕනෑ තරම් දුරට යන්ට පුළුවන්. ශරීරයේ වර්ණයත් බලයත් ඇතිවයි ඉන්නෙ.
269. ඔබගේ අත මුළුමණින්ම රත්තරන්වලින් හැදිල තියෙන්නෙ. මිහිරි රස වෑහෙන ධාරා පහක් ගලනවා. ඒවායින් නානා රසය වැගිරෙනවා. පින්වත් දෙවිඳ, ඔබ ශක්‍රයා කියලයි මට හිතෙන්නෙ.
270. මං ප්‍රසිද්ධ දෙවියෙක් නෙවෙයි. ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ සක් දෙවිඳුත් නොවෙයි. පින්වත් අංකුරය, භේරුව කියන නගරයේ මැරිල මෙහි උපන්න ප්‍රේතයෙක් හැටියට මාව දැනගන්න.
271. ඉස්සර ඔබ ඒ භේරුව නගරයේදී මොන වගේ සිල්ද රැක්කෙ? මොන වගේ ජීවිතයක්ද ගත කළේ? මොන වගේ උතුම් ජීවිතයක් නිසාද ඔය අතින් පින්ඵල මතුවෙන්නෙ.
272. මං ඉස්සර ඒ භේරුව නගරයේ ඇඳුම් මහණ කෙනෙක් වෙලා හිටියා. මං අමාරුවෙන් ජීවත් වුනේ. මං දීන කෙනෙක් වෙලා හිටියා. දන් දෙන්ට කියල කිසිම දෙයක් මට තිබුනෙ නෑ.
273. මං හිටපු ගේ ළඟම අසය්හ කියල සිටුවරයෙක් හිටියා. ඔහු ශ්‍රද්ධාවන්තයි. දානපති කෙනෙක්. බොහෝ පින් කරපු කෙනෙක්. පවට ලැජ්ජා ඇති කෙනෙක්.
274. නොයෙක් පළාත්වලින් එන සිඟමන් ඉල්ලන උදවියත්, නොයෙක් කුලවලින් එන සම්මාදන් ඉල්ලන අය ඒ ගෙදරට එනවා. එතකොට ඔවුන් අසය්හ සිටුවරයාගේ නිවස කොහේද තියෙන්නෙ කියල මගෙනුයි අහන්නෙ.
275. ‘ඔබට යහපතක් වේවා! මෙහෙ කොහේ හරි දන් ලැබෙන තැනක් තියෙනවාද? අපි කොහෙන්ද එතැනට යන්නෙ?’ කියල ඔවුන් මගෙන් අහන කොට මං අසය්හ සිටුවරයාගේ නිවස ඔවුන්ට පෙන්වනවා.
276. ‘ඔබට යහපතක් වේවා! මෙහෙ දන් ලැබෙන තැනක් තියෙනවා. ඔය අසය්හ සිටුවරයා ගේ නිවසේ තමයි දන් පැන් පුදන්නෙ’ කියල මං දකුණු අත දිගු කරල පෙන්වල කියනවා.
277. ඒ පින්කමින් තමයි මේ අතින් කැමති සැප සම්පත් වැගිරෙන්නෙ. මාගේ ඒ උතුම් හැසිරීමේ හේතුවෙන් මගේ අත්වලින් පුණ්‍යඵල මතු වෙනවා.
278. ඒ වුණාට ඔබේ අතින් ඔබ කාටවත් දන් දුන්නෙ නෑ නෙව. වෙන කෙනෙක් දානෙ දෙන කොට ඔබ කළේ ඒ දානය අනුමෝදන් වෙලා අත දිගු කරල ඒ පැත්ත පෙන්නපු එක විතරයි නෙව.
279. ඒ පින්කමින් තමයි ඔබේ ඔය අතින් කැමති සැප සම්පත් වැගිරෙන්නෙ. ඔබේ ඒ උතුම් හැසිරීමේ හේතුවෙන් ඔබේ අත්වලින් පුණ්‍යඵල මතු වෙනවා.
280. පින්වත, අර පහන් සිතින් යුතුව තමන්ගෙ අතින්ම දානය පූජා කර ගත්තු අසය්හ කියල සිටුවරයෙක් හිටිය නෙ. එතකොට එයා මිනිස් සිරුර අත්හැරල චුත වුනාට පස්සෙ කොයි දිසාවටද ගියේ?
281. වෙන කෙනෙකුට බැරි විදිහේ මහා දන් දුන්න, සිරුරෙන් රැස් විහිදෙන, ඒ අසය්හ සිටුවරයාගේ චුතියවත් උපතවත් ගැන මට තේරුමක් නෑ. නමුත් වෙසමුණි දිව්‍ය රජ්ජුරුවන්ගෙන් මට අහන්ට ලැබුනේ ඔය අසය්හ සිටුතුමා සක් දෙවිඳුගේ ලෝකයට ගිය බවයි.
282. අනේ එහෙම නම් පින්දහම් කරන එකමයි හොඳ. පුළුපුළුවන් හැටියට දානාදී පින්කම් කරගන්න එකයි හොඳ. කැමති සැප ලබාදෙන අත දැකපු කවුරු නම් පින් නොකර සිටීවිද?
283. එහෙනම් මාත් මේ කාන්තාර ප්‍රදේශයෙන් ගිහින් ද්වාරවතී නගරයට ගියාට පස්සෙ දන් වැටක් පිහිටුවනවා. ඒක මට සැප ලබා දෙන්ට උපකාර වේවි.
284. මං කෑම් බීම්, රෙදිපිළි, ගෙවල් දොරවලුත් දන් දෙනවා. පැන් පොකුණු ලිං කරවනවා. දුෂ්කර ගමන් ඇති තැන්වල ඒදඬු කරවනවා.
285. ආ! ඔබේ ඔය ඇඟිලි වකුටු වෙලා තියෙන්නෙ මක් වෙලාද? මුහුණ කැරකිලා ඇඹරිලා තියෙන්නෙ මොකද? ඇස්වලින් කබකඳුළු වැක්කෙරෙන්නෙ මොකද? ඔබ මොන වගේ පවක්ද කරගෙන තියෙන්නෙ?
286. සිරුරෙන් රැස් විහිදෙන අසය්හ සිටුවරයා දානපතියෙක්. ශ්‍රද්ධාවන්තයෙක්. ගිහි ගෙදර ගත කළ කෙනෙක්. ඒ දානමාන ආදී කටයුතු පිළිවෙළට කර ගන්න ඕන නිසා අධිකාරී හැටියට මාවයි පත් කළේ.
287. ආහාර ගන්ට පැමිණි ඒ සිඟමන් ඉල්ලන මිනිසුන් දැකල මං පැත්තකට ගිහින් මුහුණ හකුළුවා ගන්නවා.
288. ඒ කර්මය නිසයි මගේ ඇඟිලි වකුටු වුනේ. මුහුණත් කැරකිලා ඇඹරිලා ගියා. ඇස්වලින් කබ කඳුළුත් වැගිරෙනවා. ඕව ඉතින් මං කරගත්තු පව් තමයි.
289. නින්දිත පුරුෂය, ඔබේ මුහුණ ඇඹරිලා කැරකිලා ගියා නම්, ඇස්වලින් කබකඳුළුත් වැගිරෙනවා නම් ඒක සිදු වෙලා තිබෙන්නෙ ධර්මතාවක් අනුවයි. අනුන්ගේ දානයකදී ඔබ මුහුණ හකුළ ගත්තා නෙව.
290. කෑම් බීම්, රෙදිපිළි, ගෙවල් දොරවලුත් දන් දෙන කොට වෙන කෙනෙකුන් ලවා ඒක කරවද්දී කොයි ආකාරයෙන්ද ඒ කරන්ට ඕන?
291. එහෙනම් මාත් මේ කාන්තාර ප්‍රදේශයෙන් ගිහින් ද්වාරවතී නගරයට ගියාට පස්සෙ දන් වැටක් පිහිටුවනවා. ඒක මට සැප ලබාදෙන්ට උපකාර වේවි.
292. මං කෑම් බීම්, රෙදිපිළි, ගෙවල් දොරවලුත් දන් දෙනවා. පැන් පොකුණු ලිං කරවනවා. දුෂ්කර ගමන් ඇති තැන්වල ඒදඬු කරවනවා.
293. එතකොට ඔහු ඒ කාන්තාර ප්‍රදේශයෙන් නික්මිලා ද්වාරවතී නගරයට ආවා. යම්කිසි දානාදියක් තමන්ට සැප ලබාදෙන්ට උපකාර වෙනවා නම් අංකුර පින්වතා අන්න ඒ දන් වැට පැවැත්වුවා.
294. ඊට පස්සෙ කෑම් බීම්, රෙදිපිළි, ගෙවල් දොරවලුත් දන් දුන්නා. පැන් පොකුණු ලිං කෙරෙව්වේ පැහැදුණු සිතින්මයි.
295. බඩගින්නේ ඉන්නෙ කවුද? පිපාසයෙන් ඉන්නෙ කවුද? රෙදිපිළි ඕනෑ කාටද? කාගේ ගැලේ ගොන්නුන්ටද වෙහෙස මහන්සිය තියෙන්නෙ? කැමති කෙනෙක් මෙතනින් ගැල් අරගෙන යොදා ගනිත්වා!
296. කුඩයක් කැමැති කවුද? සුවඳවර්ග කැමැති කවුද? මල්මාලා කැමැති කවුද? සෙරෙප්පු කැමැති කවුද? කිය කියා ඒ අංකුරගේ නිවසේ සේවකයිනුත් අරක්කැමියනුත් හැම තිස්සේම මහ හඬින් කථාබස් කරනවා. හැමදාම උදේ සවස අංකුරගේ නිවසේ ඔය විදිහයි.
297. අංකුර සනීපෙට නිදා ගන්න කෙනෙක් කියලයි මහජනතාව මං ගැන කියන්නෙ. ඒ වුනාට සින්ධක, සිඟමන් ඉල්ලන අය දකින්ට නැත්නම් එදාට මං දුකසේ නිදියනවා.
298. අංකුර සනීපෙට නිදාගන්න කෙනෙක් කියලයි මහජනතාව මං ගැන කියන්නෙ. ඒ වුනාට සින්ධක, සම්මාදන් ඉල්ලන අය අඩුවෙන් දකින්ට ලැබුනොත් එදාට මං දුක සේ නිදියනවා.
299. අංකුරය, යම් හෙයකින් තව්තිසා දිව්‍ය ලෝකයේත් සියලු ලෝකයට ප්‍රධාන ශක්‍ර දෙවියාත් ඔබට කැමති වරයක් ඉල්ලා ගන්ට කිව්වොත් ඔබ මොන වරයක්ද ඉල්ලා ගන්නෙ?
300. සින්ධක, යම් හෙයකින් තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දෙවියාත් මට කැමති වරයක් ඉල්ලා ගන්ට කිව්වොත් මං මේ වගේ වරයක් ඉල්ලා ගන්නෙ. ‘හිමිදිරි පාන්දර මං නැගිටින කොට ඉර උදාවෙන කොට මට දිව්‍ය ආහාර පාන පහළ වෙත්වා! සිඟමන් යදින උදවියද සිල්වත් වෙත්වා!
301. මං දාන වස්තුව දන් දෙන කොට ඒවා ඉවර වෙන්ට එපා! දන් දුන්නාට පස්සේ පසුතැවිලි වෙන කෙනෙක් වෙන්ට එපා! දන් දෙන කොට මගේ සිත පැහැදේවා!’ කියන ඔය විදිහේ වරයක් තමයි මං ඉල්ලන්නෙ.
302. තමන්ගේ හැම සම්පතක්ම අනුන්ට දෙන්ට ඕනෑ. දානය දෙන්ටත් ඕන. ධන සම්පත් රැක ගන්ටත් ඕන. ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නෙ ධන සම්පත් තිබීමමයි. ඕනෑවට වඩා දාන දෙන්ට ගියොත් ඒ පවුල් එච්චර කල් පවතින්නෙ නෑ.
303. නුවණ තියෙන උදවිය දන් නොදීම ප්‍රශංසා කරන්නෙත් නෑ. ඕනෑවට වඩා දීම ප්‍රශංසා කරන්නෙත් නෑ. ඒ නිසා ඔය දන් දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නෙ ධන සම්පත් තිබීමමයි. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනා තෝර ගන්නෙ දීම නොදීම සමව පවත්වන මාර්ගයයි.
304. එම්බා සෝණක, මං නම් දන් දෙනවාමයි. සන්සුන් සිත් ඇති සත්පුරුෂයන් මාව ඇසුරු කරත්වා! පහත් බිම් කඩවල් පිරී ඉතිරී යන පරිද්දෙන් වහින මහා වැස්සක් වගේ මං ළඟට ඉල්ලා ගෙන එන හැම දෙනාවම තෘප්තිමත් කරන්ට ලැබේවා!
305. තමන් ළඟට ඉල්ලාගෙන එන උදවිය දැක්කම තමන්ගේ මුහුණ පැහැපත් වෙනවා නම්, යමෙක් යම්කිසි දානයක් දුන්නට පස්සෙ ඒ ගැන සතුටු වෙනවා නම් ඒ ගෙදර වාසය කරන අයට සැපයක්මයි ලැබෙන්නෙ.
306. තමන් ළඟට ඉල්ලාගෙන එන උදවිය දැක්කම තමන්ගේ මුහුණ පැහැපත් වෙනවා නම්, යමෙක් යම්කිසි දානයක් දුන්නට පස්සෙ ඒ ගැන සතුටු වෙනවා නම් මේක තමයි දානයට ඕනෑ කරන සම්පත්තිය.
307. දන් දෙන්ට කලිනුත් සිත සතුටු කරගන්ට ඕන. දන් දෙන වෙලාවේදීත් සිත පහදවා ගන්ට ඕන. දන් දුන්නාට පස්සේත් සිත පහදවා ගන්ට ඕන. මේක තමයි දානයට ඕනෑ කරන සම්පත්තිය.
308. අංකුරගේ නිවසේ ගැල් හැට දහසක භෝජන නිතරම දන් දෙනවා. ඔහුගේ හිතේ තිබෙන්නේ දන් දෙන එක ගැනමයි.
309. අංකුරයන් හට අරක්කැමියන් තුන්දාහක් ඉන්නවා. ඒ උදවිය ඉන්නෙත් මිණිකොඬොල් පැළඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දානයට කැපවෙලා ඉන්නෙ. ඒ හැමෝම ජීවත් වෙන්නෙ අංකුර නිසා.
310. අංකුරයන් හට තවත් තරුණයන් හැටදාහක් ඉන්නවා. ඒ උදවිය ඉන්නෙත් මිණිකොඬොල් පැළඳගෙනයි. ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දානයට දර පලන්නෙ.
311. අංකුරයන් හට ඒ වගේම ස්ත්‍රීන් දොළොස්දාහක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි වෑංජනවලට කුළුබඩු අඹරලා පිඬු කරන්නෙ.
312. අංකුරයන් හට ඒ වගේම ස්ත්‍රීන් දොළොස්දාහක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ සියලුම අලංකාර ආභරණ වලින් සැරසිලා. ඔවුන් තමයි දන් බෙදීමට හැදි අතේ තියාගෙන සූදානම්ව ඉන්නෙ.
313. ඒ අංකුර රජ්ජුරුවෝ බොහෝ ජනතාවට බොහෝ කල් දානමානාදිය දුන්නා. බොහෝම පිළිවෙලට දුන්නා. තමන්ගේ අතින්ම දුන්නා. ගරු බුහුමන් සහිතවම දුන්නා. පුන පුනා දුන්නා.
314. බොහෝ මාස ගණනක් දුන්නා. බොහෝ පොහොය ගණනක් දුන්නා. බොහෝ සෘතු ගණනක් දුන්නා. බොහෝ අවුරුදු ගණනාවක් දුන්නා. අංකුර රජතුමා බොහෝ කාලයක් මහා දන් වැටක් පැවැත්වුවා.
315. මේ විදිහට බොහෝ කාලයක් මුළුල්ලෙහි දන් දීල මිනිස් දේහය අත් හැරියාට පස්සෙ තව්තිසා දෙවියන් අතර ඉපදුනා.
316. ඉන්දක කියල තරුණයෙක් අනුරුද්ධ මහරහතන් වහන්සේට හැන්දක ප්‍රමාණයේ බත් ටිකක් පූජා කරගෙන එයත් මිනිස් දේහය අත් හැරියාට පස්සෙ තව්තිසා දෙවියන් අතර ඉපදුනා.
317. ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයා අංකුර දිව්‍ය පුත්‍රයාට වඩා කරුණු දහයකින් අතිශයින්ම බබලනවා. මනෝරම්‍ය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස,
318. ඒ වගේම ආයුෂ, යසස, වර්ණ, සැප, අධිපතිබව කියන මේ කරුණුවලින් ඉන්දක දිව්‍ය පුත්‍රයා තමයි අංකුර දෙවියන්ට වඩා බබලන්නෙ.
319. (බුදුරජාණන් වහන්සේ) පින්වත් අංකුරය, ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මහා දන් දුන්නා නෙව. නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින් නෙ වාඩිවෙලා ඉන්නෙ. මගේ සමීපයට එන්න.
320. යම් දවසක පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව පරසතු රුක් සෙවණේ පාණ්ඩුකම්බල ශෛලාසනය මත වැඩසිටි සේක්ද,
321. දස දහසක් ලෝක ධාතුවලින් දෙවි දේවතාවුන් රැස්වෙලා මහාමේරුව මුදුනේ වැඩ වාසය කරන සම්බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්ට වුණා.
322. ඒ කිසිම දෙවි කෙනෙක් සම්බුදුරජාණන් වහන්සේ තරම් ශරීර පැහැයෙන් බබලන්නෙ නෑ. ඒ සියලුම දෙවියන් යටපත් කරගෙන සම්බුදුරජාණන් වහන්සේමයි බබලන්නෙ.
323. එතකොට මේ අංකුර යොදුන් දොළහක දුරින් හිටියෙ. නමුත් ඉන්දක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට නුදුරින්ම බැබලී බැබලී හිටියා.
324. සම්බුදුරජාණන් වහන්සේ අංකුර දිව්‍යපුත්‍රයා ගැනත් ඉන්දක දිව්‍යපුත්‍රයා ගැනත් දැක බලා වදාරළා දන්පැන් පිළි ගැනීමට සුදුසු කවුද යන වග පැහැදිලි කරමින් මේ වචන වදාළා.
325. (බුදුරජාණන් වහන්සේ) පින්වත් අංකුරය, ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මහා දන් දුන්නා නෙව. නමුත් දැන් ඔබ ගොඩාක් ඈතින් නෙ වාඩිවෙලා ඉන්නෙ. මගේ සමීපයට එන්න.
326. වඩන ලද සිත් ඇති බුදුරජාණන් වහන්සේ විසින් පොළඹවන ලද අංකුර දිව්‍යපුත්‍රයා මේ විදිහට පැවසුවා. (ස්වාමීනි) ‘දක්ෂිණාර්හ වූ මගඵලලාභී සඟරුවනෙන් හිස් වූ මගේ ඒ දානයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?
327. ඒ වුනාට මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා බොහෝම ස්වල්පයයි දන් දීල තියෙන්නෙ. එයා අපට වඩා බබලනවා. තරු මැද දිලෙන පුන් සඳක් වගේ.
328. කරමැටි තියෙන නිසරු කුඹුරක බොහෝ කොට බිත්තර වී වැපුරුවත් ඒකෙන් ලොකු අස්වැන්නක් ලැබෙන්නෙ නෑ. ඒකෙන් ගොවියාව සතුටු කරන්නෙ නෑ.
329. දානයත් එහෙම තමයි. දුස්සීල වූ පිරිසකට කොයිතරම් ලොකුවට දානෙ දුන්නත් ඒකෙන් මහත් විපාක ලැබෙන්නෙ නෑ. ඒකෙන් දායකයාව සතුටු කරන්නෙ නෑ.
330. සරුසාර කුඹුරක බිත්තර වී වපුරන්නෙ ටිකක් වෙන්න පුළුවනි. වැස්සක් හොඳට වැස්සොත් ලැබෙන අස්වැන්න ගොවියාව සතුටු කරනවා.
331. අන්න ඒ වගේ අටලෝ දහමින් කම්පා නොවන සීලවන්ත ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වශයෙන් නමුත් කරන ලද පුණ්‍ය උපකාරය මහත් ප්‍රතිඵල ලබාදෙනවා.
332. යම්කිසි කෙනෙකුට දෙන දානයෙන් මහත්ඵල ලැබෙනවා නම් එබඳූ දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසලයි දන් දිය යුත්තේ. දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් නුවණින් විමසල දන් දුන්නාට පස්සෙ ඒ දායකයන් සුගතියේ උපදිනවා.
333. සුගතයන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ නුවණින් විමසලා දන් දීම ගැනයි. මේ මිනිස් ලෝකයේ යම් දක්ෂිණාර්හ උත්තමයන් වහන්සේලා වැඩඉන්නවා නම් උන්වහන්සේලාට පුදන දානයෙන් තමයි මහත්ඵල ලැබෙන්නෙ. සරුසාර කුඹුරක බිත්තර වී වැපුරුවා වගේ.
සාදු! සාදු!! සාදු!!!
නවවෙනි අංකුර ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M