මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවෙහිය. ඒ දිනවල ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැ’යි බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අරහත්වය ප්‍රකාශ කරනවා. සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයාට ද බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අරහත්වය ප්‍රකාශ කරන මෙම කථාව අසන්නට ලැබුනා.
එවිට සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.
“ස්වාමීනී, බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අරහත්වය ප්‍රකාශ කරන මෙම කථාව මට අසන්නට ලැබුනා. ඉතින් ස්වාමීනී, යම් ඒ භික්ෂූන් වහන්සේලා ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැ’යි යම් ප්‍රකාශයක් කරමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අරහත්වය ප්‍රකාශ කළා නම්, ස්වාමීනී, කිම? ඒ භික්ෂූන් වහන්සේලා හැබෑවටම අරහත්වය ප්‍රකාශ කළාද? එහෙම නැත්නම්, ඔය අතර සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලා අධිමානයෙන් යුතුව අරහත්වය ප්‍රකාශ කළාද?”
“පින්වත් සුනක්ඛත්ත, යම් මේ භික්ෂූන් වහන්සේලා මා සමීපයට පැමිණ ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැ’යි කියා අරහත්වය ප්‍රකාශ කරත්ද, ඔවුන් අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා අරහත්වය ප්‍රකාශ කරන්නේ සැබෑවටමයි. හැබැයි ඔවුන් අතර සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත් නොවීම, අරහත්වයට පත්වූවා යැයි අධිමානයෙනුත් අරහත්වය ප්‍රකාශ කරනවා.
පින්වත් සුනක්ඛත්ත, ඔය කාරණයෙහිදී යම් භික්ෂූන් වහන්සේලා සැබෑවටම අරහත්වය ප්‍රකාශ කළාද, ඔවුන්ගේ ඒ ප්‍රකාශය ඒ විදිහමයි. නමුත් යම් භික්ෂූන් වහන්සේලා ආධිමානයෙන් යුක්තව අරහත්වය ප්‍රකාශ කරනවාද, එහිලා පින්වත් සුනක්ඛත්ත, තථාගතයන් වහන්සේට සිතෙන්නේ මෙහෙමයි. ‘ඒ භික්ෂූන් හට මං ධර්මය දේශනා කරන්නට ඕන’ කියලයි. ඉතින් පින්වත් සුනක්ඛත්ත ඔය ආකාරයටත් තථාගතයන් වහන්සේට ‘ඒ භික්ෂූන් හට මං ධර්මය දේශනා කරන්නට ඕන’ කියල අදහස් කරද්දිත් එහිලා ඇතැම් හිස් පුද්ගලයන් ඉන්නවා ඔවුන් කරන්නේ හිතාමතා එක එක ප්‍රශ්න සකස් කර කර තථාගතයන් වහන්සේ ළඟට ඇවිදින් අසන එකයි. එහිලා පින්වත් සුනක්ඛත්ත, තථාගතයන් වහන්සේට ‘ඒ භික්ෂූන් හට මං ධර්මය දේශනා කරන්නට ඕන’ කියල මේ අදහසක් සිතෙනවා නෙව. ඒ අදහස පවා වෙනස් වෙලා යනවා.”
“භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් වදාරණ සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් වහන්සේලා මතක තබා ගනීවි.”
“එසේ වී නම් පින්වත් සුනක්ඛත්ත, සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියා සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් සුනක්ඛත්ත, මේ කාම ගුණ පහක් තියෙනවා. කවර පහක්ද යත්; ඇසින් දැක්ක යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රිය මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන රූප තියෙනවා. ….(පෙ)…. කනින් ඇසිය යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දත යුතු ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රිය මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමාශාව ඇතිවෙන, කෙලෙස් ඇතිවෙන පහස තියෙනවා. පින්වත් සුනක්ඛත්ත, මේවා තමයි පංච කාම ගුණ.
පින්වත් සුනක්ඛත්ත, මෙබඳු දෙයක් සිදුවෙන්නට පුළුවනි. ඒ කියන්නේ මෙහිලා එක්තරා පුද්ගලයෙක් පංච කාම ගුණයෙන් යුතු ලෝකාමිසයට ඇලී සිටිනවා. එතකොට සුනක්ඛත්ත, ඒ ලෝකාමිසයට ඇලී සිටින ඒ පුරුෂ පුද්ගලයා තුළ තියෙන්නේ ඒ කාම ගුණයන් පිළිබඳව තිබෙන කතා බහ විතරයි. එතකොට ඔහු විතර්ක කරන්නේ, නැවත නැවත විතර්ක කරන්නේ ඒ කාම ගුණයන් ගැන විතරයි. එතකොට ඔහු ඇසුරු කරන්නේ එබඳු පුද්ගලයෙක්ව විතරයි. එයින් තමයි ඔහු සතුටු වෙන්නෙ. ඉතින් භාවනාවෙන් දියුණු කරගත යුතු සමාපත්ති වලට සමවැදීමක් ගැන කතා බහක් කෙරුනොත් ඔහු එය අසන්නට කැමති වෙන්නෙ නැහැ. සවන් යොමු කරන්නෙ නෑ. ඒ කාරණය හොඳින් තේරුම් ගැනීමට සිත පිහිටුවා ගන්නෙ නෑ. එබඳු පුද්ගලයන්ව ඇසුරු කරන්නෙ නෑ. එයින් සතුටකට පත්වෙන්නෙත් නෑ.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමන්ගේ ගමෙන් හෝ නියම්ගමෙන් හෝ ඈත් වෙලා පිටපළාතක සෑහෙන කාලයක් තිස්සේ පදිංචි වෙලා ඉන්නවා. එතකොට ළඟදී ඒ ගමෙන් හෝ නියම්ගමෙන් හෝ පැමිණි වෙනත් පුද්ගලයෙකුව ඔහුට දකින්නට ලැබෙනවා. ඉතින් ඔහු ඒ පුරුෂයාගෙන් අර ගමේ හෝ නියම්ගමේ හෝ ආරක්ෂාව ගැනත්, බතින් බුලතින් සරුවීම ගැනත්, ලෙඩ දුක් නැතිවීම ගැනත් අහනවා. එතකොට අර පුරුෂයා ඒ ගම හෝ නියම්ගම ඉතාම ආරක්ෂා සහිතව, බතින් බුලතින් සරුව, ලෙඩ දුක් රහිතව තියෙන බව පවසනවා. පින්වත් සුනක්ඛත්ත, ඒ ගැන කුමක්ද සිතෙන්නේ? එතකොට අර පුද්ගලයා ගමෙන් ආපු කෙනාගේ වචනයට ඇහුම්කම් දෙනවා නේද? සවන් යොමුකරනවා නේද? එය තේරුම් ගන්නට සිත පිහිටුවනවා නේද? ඒ පුරුෂයාව ඇසුරු කරනවා නේද? ඒ තුළින් සතුටක් ලබනවා නේද?”
“එසේය, ස්වාමීනී”
“සුනක්ඛත්ත, ඔය වගේම තමයි මේ කාරණයත් සිදුවෙන්නට පුළුවන් දෙයක්. ඒ කියන්නේ මෙහිලා එක්තරා පුද්ගලයෙක් පංච කාම ගුණයෙන් යුතු ලෝකාමිසයට ඇලී සිටිනවා. එතකොට සුනක්ඛත්ත, ඒ ලෝකාමිසයට ඇලී සිටින ඒ පුරුෂ පුද්ගලයා තුළ තියෙන්නේ ඒ කාම ගුණයන් පිළිබඳව තිබෙන කතා බහ විතරයි. එතකොට ඔහු විතර්ක කරන්නේ, නැවත නැවත විතර්ක කරන්නේ ඒ කාම ගුණයන් ගැන විතරයි. එතකොට ඔහු ඇසුරු කරන්නේ එබඳු පුද්ගලයෙක්ව විතරයි. එයින් තමයි ඔහු සතුටු වෙන්නෙ. ඉතින් භාවනාවෙන් දියුණු කරගත යුතු සමාපත්තිවලට සමවැදීමක් ගැන කතා බහක් කෙරුනොත් ඔහු එය අසන්නට කැමති වෙන්නෙ නැහැ. සවන් යොමු කරන්නෙ නෑ. ඒ කාරණය හොඳින් තේරුම් ගැනීමට සිත පිහිටුවා ගන්නෙ නෑ. එබඳු පුද්ගලයන්ව ඇසුරු කරන්නෙ නෑ. එයින් සතුටකට පත්වෙන්නෙත් නෑ. ඔහුව හඳුනාගන්න ඕන මේ විදිහටයි. කාම ගුණයෙන් යුතු ලෝකාමිසයට ඇලී සිටින පුද්ගලයා භාවනාවෙන් දියුණු කරගත යුතු සමාපත්තිවලින් වෙන් වී වාසය කරන කෙනෙක් හැටියටයි.
ඒ වගේම පින්වත් සුනක්ඛත්ත මෙන්න මේ දෙයත් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ මෙහිලා එක්තරා පුරුෂයෙක් භාවනා කොට ධ්‍යාන ආදිය උපදවා ගෙන එයට ඇලී ඉන්නවා. ධ්‍යාන ආදිය උපදවා ගෙන එයට ඇලී සිටින පුද්ගලයෙක් කතා බස් කරන්නේ ඒ තමන්ගේ බණ භාවනාව ගැනයි. එයට අනුව තමයි ඔහු විතර්ක කරන්නේ. නැවත නැවත හිතන්නේ. එබඳු වූ කෙනෙක්වමයි ඇසුරු කරන්නේ. එයින් තමයි ඔහු සතුටක් ලබන්නේ. එතකොට පංච කාම ගුණයන් පිළිබඳව මහා වර්ණනාවෙන් කතා කරන විට ඔහු එය අසන්නට කැමති නැහැ. එයට සවන් යොමන්නෙ නෑ. එය ගැන සිත පිහිටුවා ගන්නෙ නැහැ. ඒ පුද්ගලයාව ඇසුරු කරන්නෙත් නෑ. ඒ තුළින් සතුටක් ලබන්නෙත් නෑ.
පින්වත් සුනක්ඛත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. පඬුවන් පැහැයෙන් ඉදී ගිය කොළයක් නැට්ටෙන් ගැලවී වැටෙනවා. එය ආයෙමත් කොළ පාට වෙන්නෙ නෑ. සුනක්ඛත්ත, අන්න ඒ වගෙයි ධ්‍යාන උපදවා ගෙන එයට ආශා කරන පුද්ගලයා තුළ යම් පංච කාම ආමිසයක් කෙරෙහි බැඳීමක් ඇද්ද, එය ගිලිහී වැටිලයි තියෙන්නේ. ඔහුව හඳුනාගන්න ඕන මේ විදිහටයි. ධ්‍යාන උපදවාගෙන එයට ඇලුම් කරන පුද්ගලයා පංච කාම බන්ධනයෙන් වෙන් වී වාසය කරන කෙනෙක් හැටියටයි.
පින්වත් සුනක්ඛත්ත, මෙන්න මේ දෙයත් සිදුවෙන්නට පුළුවනි. ඒ කියන්නේ මෙහිලා එක්තරා පුරුෂයෙක් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවා ගෙන එයට ඇලුම් කොට වාසය කරනවා. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවා ගෙන එයට ඇලී සිටින පුද්ගලයෙක් කතා බස් කරන්නේ ඒ තමන්ගේ බණ භාවනාව ගැනයි. එයට අනුව තමයි ඔහු විතර්ක කරන්නේ. නැවත නැවත හිතන්නේ. එබඳු වූ කෙනෙක්වමයි ඇසුරු කරන්නේ. එයින් තමයි ඔහු සතුටක් ලබන්නේ. එතකොට රූප ධ්‍යාන පිළිබඳව මහා වර්ණනාවෙන් කතා කරන විට ඔහු එය අසන්නට කැමති නැහැ. එයට සවන් යොමන්නෙ නෑ. එය ගැන සිත පිහිටුවා ගන්නෙ නැහැ. ඒ පුද්ගලයාව ඇසුරු කරන්නෙත් නෑ. ඒ තුළින් සතුටක් ලබන්නෙත් නෑ.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. විශාල ගලක් දෙකට බිඳෙනවා. එය එකට එකතු කරන්න බෑ. සුනක්ඛත්ත, අන්න ඒ වගේම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවා ගෙන එයට ආශා කරන පුද්ගලයා තුළ යම් රූප ධ්‍යානයකට ඇති බැඳීමක් ඇද්ද, එය බිඳිලයි තියෙන්නේ. ඔහුව හඳුනාගන්න ඕන මේ විදිහටයි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවාගෙන එයට ඇලුම් කරන පුද්ගලයා රූප ධ්‍යානයට ඇති බැඳීමෙන් වෙන් වී වාසය කරන කෙනෙක් හැටියටයි.
පින්වත් සුනක්ඛත්ත, මෙන්න මේ දෙයත් සිදුවෙන්නට පුළුවනි. ඒ කියන්නේ මෙහිලා එක්තරා පුරුෂයෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය උපදවා ගෙන එයට ඇලුම් කොට වාසය කරනවා. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය උපදවා ගෙන එයට ඇලී සිටින පුද්ගලයෙක් කතා බස් කරන්නේ ඒ තමන්ගේ බණ භාවනාව ගැනයි. එයට අනුව තමයි ඔහු විතර්ක කරන්නේ. නැවත නැවත හිතන්නේ. එබඳු වූ කෙනෙක්වමයි ඇසුරු කරන්නේ. එයින් තමයි ඔහු සතුටක් ලබන්නේ. එතකොට ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය පිළිබඳව මහා වර්ණනාවෙන් කතා කරන විට ඔහු එය අසන්නට කැමති නැහැ. එයට සවන් යොමන්නෙ නෑ. එය ගැන සිත පිහිටුවා ගන්නෙ නැහැ. ඒ පුද්ගලයාව ඇසුරු කරන්නෙත් නෑ. ඒ තුළින් සතුටක් ලබන්නෙත් නෑ.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. හොඳට බත් කා බඩ පිරී සිටින කෙනෙක් අනා ඉතිරි වූ රසවත් බොජුන් විසිකරනවා නේද? පින්වත් සුනක්ඛත්ත, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට අර පුද්ගලයාට ඒ ඇනූ බත ආයෙමත් කන්නට ඕන කියල ආසා ඇතිවෙනවාද?”
“ස්වාමීනී, එහෙම ඇතිවෙන්නෙ නෑ. මක්නිසාද යත්; ස්වාමීනී, ඒ ඇනූ බත පිළිකුල් බවට සම්මතයි.”
පින්වත් සුනක්ඛත්ත, අන්න ඒ වගේම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය උපදවා ගෙන එයට ආශා කරන පුද්ගලයා තුළ යම් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියකට ඇති බැඳීමක් ඇද්ද, එය බිඳිලයි තියෙන්නේ. ඔහුව හඳුනාගන්න ඕන මේ විදිහටයි. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය උපදවාගෙන එයට ඇලුම් කරන පුද්ගලයා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට ඇති බැඳීමෙන් වෙන් වී වාසය කරන කෙනෙක් හැටියටයි.
පින්වත් සුනක්ඛත්ත, මෙන්න මේ දෙයත් සිදුවෙන්නට පුළුවනි. ඒ කියන්නේ මෙහිලා එක්තරා පුරුෂයෙක් මනාකොට නිවනෙහි බැසගෙන ඉන්නවා. මනාකොට නිවනෙහි බැසගෙන සිටින පුද්ගලයෙක් කතා බස් කරන්නේ එයට අනුකූල වූ ධර්මයන් ගැනයි. එයට අනුව තමයි ඔහු විතර්ක කරන්නේ. නැවත නැවත හිතන්නේ. එබඳු වූ කෙනෙක්වමයි ඇසුරු කරන්නේ. එයින් තමයි ඔහු සතුටක් ලබන්නේ. එතකොට නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පිළිබඳව මහා වර්ණනාවෙන් කතා කරන විට ඔහු එය අසන්නට කැමති නැහැ. එයට සවන් යොමන්නෙ නෑ. එය ගැන සිත පිහිටුවා ගන්නෙ නැහැ. ඒ පුද්ගලයාව ඇසුරු කරන්නෙත් නෑ. ඒ තුළින් සතුටක් ලබන්නෙත් නෑ.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. මුදුන් කරටිය කැඩී ගිය තල් ගසක් කිසිසේත්ම ආයෙමත් පැලවෙන්නෙ නෑ. පින්වත් සුනක්ඛත්ත, අන්න ඒ වගේමයි මනාකොට නිවනෙහි බැසගෙන සිටින පුද්ගලයා තුළ යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියකට ඇති බැඳීමක් ඇද්ද, ඒ බැඳීම මුලින්ම උදුරන ලද, නැවත කිසිදා නොවැඩෙන නොපැළවෙන තල් ගසක් මෙන් එවැනි ස්වභාවයකට පත්කරලයි තියෙන්නේ. ඔහුව හඳුනා ගන්න ඕන මේ විදිහටයි. මනාකොට නිවනෙහි බැසගෙන සිටින පුද්ගලයා නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට ඇති බැඳීමෙන් වෙන් වී වාසය කරන කෙනෙක් හැටියටයි.
පින්වත් සුනක්ඛත්ත, මෙවැනි දෙයක් සිදුවෙන්නට පුළුවන්. මෙහිලා එක්තරා භික්ෂුවකට මෙහෙම සිතෙනවා. ‘ශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ තෘෂ්ණාව ජීවිතය සිදුරු කොට කැක්කුම් දෙන හුලක් බවයි. එය අවිද්‍යාව නැමැති විෂ දෝෂයෙනුත්, ඡන්දරාගයෙනුත්, ව්‍යාපාදයෙනුත් ඇතුළට ඇනෙනවා. මට ඒ තෘෂ්ණා හුල ප්‍රහාණය වෙලා තියෙන්නෙ. අවිද්‍යා විෂ දෝෂය බැහැර වෙලයි තියෙන්නේ. මම මනාකොට නිවනෙහි බැසගෙන ඉන්නෙමි’ කියලා. ඉතින් ඔහු ඔය විදිහට මාන්නයකින් ඉන්නවා. නමුත් ඔහු තුළ තියෙන ඒ මාන්නය සත්‍ය වූ දෙයක් නොවේ. මනාකොට නිවනෙහි බැසගෙන සිටින කෙනෙකුට අපත්‍ය වූ යම් දේවල් ඇද්ද, ඔහු ඒවායෙහි යෙදෙනවා. ඒ කියන්නේ ඔහු ඇසින් එයට නොගැලපෙන රූප බැලීමෙහි යෙදෙනවා. කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි යෙදෙනවා. නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි යෙදෙනවා. දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි යෙදෙනවා. කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි යෙදෙනවා. මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි යෙදෙනවා.
ඉතින් ඇසින් සප්පාය නොවූ රූප දැකීමෙහි යෙදී සිටින, කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි යෙදී සිටින, නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි යෙදී සිටින, දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි යෙදී සිටින, කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි යෙදී සිටින, මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි යෙදී සිටින ඔහුගේ සිත රාගය විසින් කළඹවනවා. එතකොට ඔහු රාගය විසින් කළඹවන ලද සිතෙන් මරණයට හෝ පැමිණෙනවා. මරණමාත්‍ර දුකකට හෝ පත්වෙනවා.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. විෂ සහිත වූ, නැවත නැවත විෂ පොවපු හීයකින් පහර කෑ පුරුෂයෙක් ඉන්නවා. ඔහුගේ යහළු මිත්‍රයන් සහලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යනවා. එතකොට ඒ ශල්‍ය වෛද්‍යවරයා ආයුධයකින් ඒ තුවාලය සැදුනු මුඛය කපනවා. ආයුධයෙන් තුවාලය සැදුනු මුඛය කපා, අඬුව දමා පාද පාද හී තුඩ සොයනවා. අඬුවෙන් පාදා හී තුඩ සොයාගෙන, එය උදුරා ඉවත් කරනවා. විෂ ගතිය ඉතුරු වී තිබෙද්දී එහි විෂ දෝෂය ඉවත් කරනවා. ඔහුගේ සිරුරෙහි විෂ උරාගෙන තිබෙන බව දැනගෙන සිටින ඒ වෛද්‍යවරයා මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඔබගේ හුල ඉවත් කළා. විෂ දෝෂත් අයින් කළා. නමුත් ඇඟට උරාගත්තු විෂ තියෙනවා. එය ඔබට අනතුරක් වෙන්නෙ නෑ. හැබැයි ඔබ වැළඳිය යුත්තේ පත්‍ය වූ ආහාර පමණයි. අසප්පාය ආහාර වළඳන්නට ගොසින් ඔබගේ තුවාලය නරක් වෙන්නට එපා! ඒ වගේම කලින් කලට තුවාලය පිරිසිදු කරන්න. කලින් කලට තුවාල මුඛයට බෙහෙත් ගල්වන්න. කලින් කලට තුවාලය පිරිසිදු නොකර සිටින්නට ගිහින්, කලින් කලට තුවාල මුඛයෙහි බෙහෙත් නොගල්වන්නට ගිහින් ඔබගේ ඒ තුවාල මුඛය සැරව සහ ලේ නොබැඳේවා! ඒ වගේම අව් සුළං වදින්නට දෙන්නත් එපා! අව් සුළං වදින්නට ඉඩදීලා ඔබගේ තුවාලයට දුහුවිලි හා රොඩු වදින්නට එපා! එම්බා පුරුෂය, තුවාලය ආරක්ෂා කරගන්න. තුවාලය මස් වැදිලා සකස් වෙන්න ඉඩදෙන්න.’ එතකොට ලෙඩාට මෙහෙම හිතෙනවා. ‘මගේ සිරුරේ තිබුණු හුල ඉවත් කළා නෙව. විෂ දෝෂත් ඉවත් කරල නෙව තියෙන්නෙ. ඇඟේ උරාගත්තු විෂ ටිකක් විතර නෙව ඉතුරු වෙලා තියෙන්නෙ. අනික ඒක මට අනතුරකුත් නොවෙයි නෙව’ කියලා. ඉතින් ඔහු තුවාලයට හොඳ නැති ආහාර වර්ග අනුභව කරන්න පටන් ගන්නවා. සප්පාය නොවන ආහාරපාන ගැනීම නිසා ඔහුගේ තුවාලය නරක් වෙනවා. ඒ වගේම කලින් කලට තුවාලය පිරිසිදු කරන්නෙ නෑ. කලින් කලට තුවාල මුඛයේ බෙහෙත් ගල්වන්නෙත් නෑ. ඉතින් කලින් කලට තුවාලය පිරිසිදු නොකිරීම නිසා, කලින් කලට තුවාල මුඛයෙහි බෙහෙත් නොගැල්වීම නිසා තුවාලයේ ලේ සැරව බැඳෙනවා. ඒ වගේම ඔහු අව් සුළං වදින්නටත් ඉඩහරිනවා. අව් සුළං වැදීම නිසා තුවාලයට දූවිලි රොඩු වැටෙනවා. මේ විදිහට ඔහුගේ තුවාලයට නොගැලපෙන දේ කිරීම නිසාත්, විෂ දෝෂ බැහැර කළ නමුත් ඇඟට උරාගත් විෂ ගතිය තිබුන නිසාත් කියන ඔය දෙකෙන් තුවාලය වණ වෙලා ලොකු වෙනවා. තුවාලය වණ වෙලා විශාල වීම හේතුවෙන් ඔහු මරණයට පත්වෙනවා. එක්කො මාරාන්තික දුකකට පත්වෙනවා.
පින්වත් සුනක්ඛත්ත, අන්න ඒ වගේ තමයි. මෙහිලා එක්තරා භික්ෂුවකට මෙහෙම සිතෙනවා. ‘ශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ තෘෂ්ණාව ජීවිතය සිදුරු කොට කැක්කුම් දෙන හුලක් බවයි. අවිද්‍යාව නැමැති විෂ දෝෂයෙනුත්, ඡන්දරාගයෙනුත්, ව්‍යාපාදයෙනුත් ඇතුළට ඇණෙනවා. මට ඒ තෘෂ්ණා හුල ප්‍රහාණය වෙලා තියෙන්නෙ. අවිද්‍යා විෂ දෝෂය බැහැර වෙලයි තියෙන්නේ. මම මනාකොට නිවනෙහි බැසගෙන ඉන්නෙමි’ කියලා. ඉතින් ඔහු ඔය විදිහට මාන්නයකින් ඉන්නවා. නමුත් ඔහු තුළ තියෙන ඒ මාන්නය සත්‍ය වූ දෙයක් නොවේ. මනාකොට නිවනෙහි බැසගෙන සිටින කෙනෙකුට අපත්‍ය වූ යම් දේවල් ඇද්ද, ඔහු ඒවායෙහි යෙදෙනවා. ඒ කියන්නේ ඔහු ඇසින් එයට නොගැලපෙන රූප බැලීමෙහි යෙදෙනවා. කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි යෙදෙනවා. නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි යෙදෙනවා. දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි යෙදෙනවා. කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි යෙදෙනවා. මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි යෙදෙනවා.
ඉතින් ඇසින් සප්පාය නොවූ රූප දැකීමෙහි යෙදී සිටින, කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි යෙදී සිටින, නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි යෙදී සිටින, දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි යෙදී සිටින, කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි යෙදී සිටින, මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි යෙදී සිටින ඔහුගේ සිත රාගය විසින් කළඹවනවා. එතකොට ඔහු රාගය විසින් කළඹවන ලද සිතෙන් මරණයට හෝ පැමිණෙනවා. මරණමාත්‍ර දුකකට හෝ පත්වෙනවා.
පින්වත් සුනක්ඛත්ත, ආර්ය විනයෙහි මේ මරණය කියල කියන්නෙ යමෙක් ධර්මයෙහි හික්මෙන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කොට සිවුරු හැර ලාමක ගිහි බවට පත්වීමයි. පින්වත් සුනක්ඛත්ත, මාරාන්තික දුකකට පත්වෙනවා කියල කියන්නෙ කිසියම් කිලුටු සහිත වූ එක්තරා ආපත්තියකට පත්වීමයි.
පින්වත් සුනක්ඛත්ත, මෙහෙම දේකුත් වෙන්න පුළුවනි. මෙහිලා එක්තරා භික්ෂුවකට මෙහෙම සිතෙනවා. ‘ශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ තෘෂ්ණාව ජීවිතය සිදුරු කොට කැක්කුම් දෙන හුලක් බවයි. අවිද්‍යාව නැමැති විෂ දෝෂයෙනුත්, ඡන්දරාගයෙනුත්, ව්‍යාපාදයෙනුත් ඇතුළට ඇණෙනවා. මට ඒ තෘෂ්ණා හුල ප්‍රහාණය වෙලා තියෙන්නෙ. අවිද්‍යා විෂ දෝෂය බැහැර වෙලයි තියෙන්නේ. මම මනාකොට නිවනෙහි බැසගෙන ඉන්නෙමි’ කියලා. එය ඔහුට මනා කොට නිවනේ බැසගත් දෙයක්මයි. ඉතින් ඔහු අපත්‍ය වූ යම් දේවල් ඇද්ද, ඔහු ඒවායෙහි යෙදෙන්නෙ නෑ. ඒ කියන්නේ ඔහු ඇසින් එයට නොගැලපෙන රූප බැලීමෙහි යෙදෙන්නෙ නෑ. කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි යෙදෙන්නෙ නෑ. නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි යෙදෙන්නෙ නෑ. දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි යෙදෙන්නෙ නෑ. කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි යෙදෙන්නෙ නෑ. මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි යෙදෙන්නෙ නෑ.
ඉතින් ඇසින් සප්පාය නොවූ රූප දැකීමෙහි නොයෙදී සිටින, කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි නොයෙදී සිටින, නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි නොයෙදී සිටින, දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි නොයෙදී සිටින, කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි නොයෙදී සිටින, මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි නොයෙදී සිටින ඔහුගේ සිත රාගය විසින් කළඹවන්නෙ නෑ. එතකොට ඔහු රාගය විසින් නොකළඹවන ලද සිතෙන් මරණයට හෝ පැමිණෙන්නෙ නෑ. මරණමාත්‍ර දුකකට හෝ පත්වෙන්නෙ නෑ.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. විෂ සහිත වූ, නැවත නැවත විෂ පොවපු හීයකින් පහර කෑ පුරුෂයෙක් ඉන්නවා. ඔහුගේ යහළු මිත්‍රයන් සහලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යනවා. එතකොට ඒ ශල්‍ය වෛද්‍යවරයා ආයුධයකින් ඒ තුවාලය සැදුනු මුඛය කපනවා. ආයුධයෙන් තුවාලය සැදුනු මුඛය කපා, අඬුව දමා පාද පාද හී තුඩ සොයනවා. අඬුවෙන් පාදා හී තුඩ සොයාගෙන, එය උදුරා ඉවත් කරනවා. විෂ ගතිය ඉතුරු නොවන පරිදිම එහි විෂ දෝෂය ඉවත් කරනවා. ඔහුගේ සිරුරෙහි විෂ නොතිබෙන බව දැනගෙන සිටින ඒ වෛද්‍යවරයා මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, ඔබගේ හුල ඉවත් කළා. කිසි විෂක් ඉතුරු නොකොට විෂ දෝෂත් අයින් කළා. එය ඔබට අනතුරක් වෙන්නෙ නෑ. හැබැයි ඔබ වැළඳිය යුත්තේ පත්‍ය වූ ආහාර පමණයි. අසප්පාය ආහාර වළඳන්නට ගොසින් ඔබගේ තුවාලය නරක් වෙන්නට එපා! ඒ වගේම කලින් කලට තුවාලය පිරිසිදු කරන්න. කලින් කලට තුවාල මුඛයට බෙහෙත් ගල්වන්න. කලින් කලට තුවාලය පිරිසිදු නොකර සිටින්නට ගිහින්, කලින් කලට තුවාල මුඛයෙහි බෙහෙත් නොගල්වන්නට ගිහින් ඔබගේ ඒ තුවාල මුඛය සැරව සහ ලේ නොබැඳේවා! ඒ වගේම අව් සුළං වදින්නට දෙන්නත් එපා! අව් සුළං වදින්නට ඉඩදීලා ඔබගේ තුවාලයට දුහුවිලි හා රොඩු වදින්නට එපා! එම්බා පුරුෂය, තුවාලය ආරක්ෂා කරගන්න. තුවාලය මස් වැදිලා සකස් වෙන්න ඉඩදෙන්න.’ එතකොට ලෙඩාට මෙහෙම හිතෙනවා. ‘මගේ සිරුරේ තිබුණු හුල ඉවත් කරල තියෙන්නෙ. කිසි විෂ දෝෂයක් ඉතුරු නොකොට විෂ දෝෂත් ඉවත් කරල නෙව තියෙන්නෙ. එය තුළින් මට අනතුරක් සිදුවෙන්නෙ නැහැ’ කියලා.
ඉතින් ඔහු අනුභව කරන්නේ තුවාලයට හොඳ ආහාර වර්ග පමණයි. සප්පාය ආහාරපාන ගැනීම නිසා ඔහුගේ තුවාලය නරක් වෙන්නෙ නෑ. ඒ වගේම කලින් කලට තුවාලය පිරිසිදු කරනවා. කලින් කලට තුවාල මුඛයේ බෙහෙත් ගල්වනවා. ඉතින් කලින් කලට තුවාලය පිරිසිදු කිරීම නිසා, කලින් කලට තුවාල මුඛයෙහි බෙහෙත් ගැල්වීම නිසා තුවාලයේ ලේ සැරව බැඳෙන්නෙ නෑ. ඒ වගේම ඔහු අව් සුළං වදින්නටත් ඉඩහරින්නෙ නෑ. අව් සුළං නොවැදීම නිසා තුවාලයට දූවිලි රොඩු වැටෙන්නෙත් නෑ. මේ විදිහට ඔහුගේ තුවාලයට ගැලපෙන දේ කිරීම නිසාත්, කිසි විෂක් ඉතුරු නොකොට විෂ දෝෂ බැහැර කොට තිබීම නිසාත් කියන ඔය දෙකෙන් තුවාලයේ මස් වැඩෙනවා. තුවාලයේ මස් වැඩිලා, සිවිය වැඩිලා සනීප වෙනවා. ඒ හේතුවෙන් ඔහු මරණයට පත්වෙන්නෙ නෑ. මාරාන්තික දුකකට පත්වෙන්නෙ නෑ.
අන්න ඒ වගේම පින්වත් සුනක්ඛත්ත, මෙහිලා එක්තරා භික්ෂුවකට මෙහෙම සිතෙනවා. ‘ශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ තෘෂ්ණාව ජීවිතය සිදුරු කොට කැක්කුම් දෙන හුලක් බවයි. එය අවිද්‍යාව නැමැති විෂ දෝෂයෙනුත්, ඡන්දරාගයෙනුත්, ව්‍යාපාදයෙනුත් ඇතුළට ඇණෙනවා. මට ඒ තෘෂ්ණා හුල ප්‍රහාණය වෙලා තියෙන්නෙ. අවිද්‍යා විෂ දෝෂය බැහැර කරලයි තියෙන්නේ. මම මනා කොට නිවනෙහි බැසගෙන ඉන්නෙමි’ කියලා. එය ඔහුට මනා කොට නිවනේ බැසගත් දෙයක්මයි. ඉතින් ඔහු අපත්‍ය වූ යම් දේවල් ඇද්ද, ඔහු ඒවායෙහි යෙදෙන්නෙ නෑ. ඒ කියන්නේ ඔහු ඇසින් එයට නොගැලපෙන රූප බැලීමෙහි යෙදෙන්නෙ නෑ. කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි යෙදෙන්නෙ නෑ. නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි යෙදෙන්නෙ නෑ. දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි යෙදෙන්නෙ නෑ. කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි යෙදෙන්නෙ නෑ. මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි යෙදෙන්නෙ නෑ.
ඉතින් ඇසින් සප්පාය නොවූ රූප දැකීමෙහි නොයෙදී සිටින, කනින් සප්පාය නොවූ ශබ්ද ඇසීමෙහි නොයෙදී සිටින, නාසයෙන් සප්පාය නොවූ ගඳ සුවඳ විඳීමෙහි නොයෙදී සිටින, දිවෙන් සප්පාය නොවූ රස විඳීමෙහි නොයෙදී සිටින, කයෙන් සප්පාය නොවූ පහස විඳීමෙහි නොයෙදී සිටින, මනසින් සප්පාය නොවූ අරමුණු සිතීමෙහි නොයෙදී සිටින ඔහුගේ සිත රාගය විසින් කළඹවන්නෙ නෑ. එතකොට ඔහු රාගය විසින් නොකළඹවන ලද සිතෙන් මරණයට හෝ පැමිණෙන්නෙ නෑ. මරණමාත්‍ර දුකකට හෝ පත්වෙන්නෙ නෑ.
පින්වත් සුනක්ඛත්ත, මා විසින් මේ උපමාව කිව්වේ අර්ථය තේරුම් කරලා දෙන්නටයි. මෙන්න මේකයි මේ උපමාවේ තිබෙන අර්ථය. පින්වත් සුනක්ඛත්ත, තුවාලය කියල කියන්නේ තමා තුළ තිබෙන ආයතන හයට කියන නමක්. පින්වත් සුනක්ඛත්ත, විෂ දෝෂය කියල කියන්නේ අවිද්‍යාවට කියන නමක්. විෂ වැදුණු හීය කියන්නේ තෘෂ්ණාවට කියන නමක්. ඒ හීය උදුරන අඬුව කියල කියන්නේ සිහියට කියන නමක්. තුවාලය කපා ඉවත් කරන ආයුධය කියල කියන්නේ ආර්ය වූ ප්‍රඥාවට කියන නමක්. ශල්‍ය වෛද්‍යවරයා කියල කියන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. ඉතින් සුනක්ඛත්ත, ඒ භික්ෂුව මේ ස්පර්ශ ආයතන හය තුළ ඒකාන්තයෙන්ම සංවරභාවයෙන් යුක්ත වෙනවා. දුකට මුල්වෙන්නේ කෙලෙස් සහිත ක්‍රියාව බව දැනගෙන කෙලෙස් සහිත ක්‍රියාවෙන් තොර වෙනවා. කෙලෙස් සහිත ක්‍රියා ගෙවා දැමීමෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒ විමුක්තියට පත් කෙනා කෙලෙස් සහිත ක්‍රියාවක් තුළ කය පවත්වන්නේය කියා හෝ සිතක් උපදවන්නේය කියා හෝ දෙයක් වන්නේය යන කරුණ සිදු නොවන දෙයක්මයි.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. ඉතාම වර්ණවත් වූත්, සුවඳවත් වූත්, රසවත් වූත්, බීම භාජනයක් තියෙනවා. හැබැයි එයට විෂ මිශ්‍ර කරලයි තියෙන්නේ. ඔතනට ජීවිතය කැමැති, නොමැරෙනු කැමැති, සැප කැමැති, දුක පිළිකුල් කරන පුද්ගලයෙක් එනවා. පින්වත් සුනක්ඛත්ත, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා දන්නවා නම්, මෙය බිව්වොත් මං මරණයට පත්වෙනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකකට පත්වෙනවා කියලා, ඔහු ඒ රසවත් පානය පිරුණු භාජනයෙන් එය පානය කරවිද?”
“ස්වාමීනී, ඔහු එය පානය කරන්නේ නෑ”
“පින්වත් සුනක්ඛත්ත, ඔය වගේම තමයි, ඒ භික්ෂුව මේ ස්පර්ශ ආයතන හය තුළ ඒකාන්තයෙන්ම සංවරභාවයෙන් යුක්ත වෙනවා. දුකට මුල්වෙන්නේ කෙලෙස් සහිත ක්‍රියාව බව දැනගෙන කෙලෙස් සහිත ක්‍රියාවෙන් තොර වෙනවා. කෙලෙස් සහිත ක්‍රියා ගෙවා දැමීමෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒ විමුක්තියට පත් කෙනා කෙලෙස් සහිත ක්‍රියාවක් තුළ කය පවත්වන්නේය කියා හෝ සිතක් උපදවන්නේය කියා හෝ දෙයක් වන්නේය යන කරුණ සිදු නොවන දෙයක්මයි.
පින්වත් සුනක්ඛත්ත, ඒක මේ වගේ දෙයක්. ඝෝර විෂ ඇති භයානක සර්පයෙක් ඉන්නවා. ඔතනට ඔතනට ජීවිතය කැමැති, නොමැරෙනු කැමැති, සැප කැමැති, දුක පිළිකුල් කරන පුද්ගලයෙක් එනවා. පින්වත් සුනක්ඛත්ත, ඒ ගැන කුමක්ද සිතන්නේ? ‘මේ භයානක සර්පයා මට දෂ්ඨ කළොත් මං මැරේවි. මාරාන්තික දුකකට පත්වේවි’ කියන කාරණය අර පුද්ගලයා දන්නවා නම්, මේ ඝෝර විෂ ඇති සර්පයාට අතක් හෝ ඇඟිල්ලක් හෝ දමාවිද?”
“ස්වාමීනී, එය නොවේමයි.”
“පින්වත් සුනක්ඛත්ත, ඔය වගේම තමයි, ඒ භික්ෂුව මේ ස්පර්ශ ආයතන හය තුළ ඒකාන්තයෙන්ම සංවරභාවයෙන් යුක්ත වෙනවා. දුකට මුල්වෙන්නේ කෙලෙස් සහිත ක්‍රියාව බව දැනගෙන කෙලෙස් සහිත ක්‍රියාවෙන් තොර වෙනවා. කෙලෙස් සහිත ක්‍රියා ගෙවා දැමීමෙන් කෙලෙසුන් ගෙන් නිදහස් වෙනවා. ඒ විමුක්තියට පත් කෙනා කෙලෙස් සහිත ක්‍රියාවක් තුළ කය පවත්වන්නේය කියා හෝ සිතක් උපදවන්නේය කියා හෝ දෙයක් වන්නේය යන කරුණ සිදු නොවන දෙයක්ම යි.”
භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
සුනක්ඛත්තට වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M