මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයේ. එදා ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ගිහිකල යහළුවෙක් වන අචේල කස්සප නම් නිරුවත් තවුසා ආයුෂ්මත් බක්කුලයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වුන අචේල කස්සප ආයුෂ්මත් බක්කුලයන් හට මෙය පැවසුවා.
“ප්‍රිය ආයුෂ්මත් බක්කුලය, පැවිදි වී කොපමන දිගු කලක් ගත වුනා ද?”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ අවුරුද්දක් වෙනවා.”
“ආයුෂ්මත් බක්කුලයෙනි, මේ අසූ වසරක පැවිදි ජීවිතය තුළ දී ඔබ විසින් කී වතාවක් මෛථුන සේවනයේ යෙදිලා තියෙනවාද?”
“ආයුෂ්මත් කස්සප, ඔබ ප්‍රශ්නය ඇසිය යුත්තේ ‘ආයුෂ්මත් බක්කුලයෙනි, මේ අසූ වසරක පැවිදි ජීවිතය තුළ දී ඔබ විසින් කී වතාවක් මෛථුන සේවනයේ යෙදිලා තියෙනවාද?’ කියන ඔය විදිහට නොවෙයි. ආයුෂ්මත් කස්සප, ඔබ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙන්න මේ විදිහටයි. ‘ආයුෂ්මත් බක්කුලයෙනි, මේ අසූ වසරක පැවිදි ජීවිතය තුළ දී කාම හැඟීම් ඇතිවෙච්ච අවස්ථා කොපමණ තියෙනවාද?’ කියලයි.”
“ආයුෂ්මත් බක්කුලයෙනි, මේ අසූ වසරක පැවිදි ජීවිතය තුළදී ඔබට කාම හැඟීම් ඇතිවෙච්ච අවස්ථා කොපමණ තියෙනවාද?”
“ආයුෂ්මත් කස්සප, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කාම හැඟීමක් උපන් විරූ බවක් මම දන්නෙ නෑ.”
“ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ අසූ වසරක පැවිදි ජීවිතයක් තුළදී කාම හැඟීමක් උපන් විරූ බවක් නොදන්නා සේක. මෙය ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ද්වේෂ සහගත හැඟීමක් ….(පෙ)…. හිංසාකාරී හැඟීමක් උපන් විරූ බවක් මම දන්නෙ නෑ.”
“ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ අසූ වසරක පැවිදි ජීවිතයක් තුළදී හිංසාකාරී හැඟීමක් උපන් විරූ බවක් නොදන්නා සේක. මෙයත් ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කාම විතර්කයක් උපන් විරූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ව්‍යාපාද විතර්කයක් ….(පෙ)…. විහිංසා විතර්කයක් උපන් විරූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ගිහි උදවිය දුන් සිවුරක් පිළිගත් බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ආයුධයකින් සිවුරක් කැපූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ඉඳිකට්ටකින් සිවුරක් මැසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට පඬුවලින් සිවුරක් පඬු ගැසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කඨිනයකදී සිවුරක් මැසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට සබ්‍රහ්මචාරීන් වහන්සේලා සිවුරු සකස් කිරීමකට යෙදවූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ආරාධනාවක් පිළිගෙන, දන් වැළඳූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට මෙබඳු සිතක් උපන් විරූ බවක් මම දන්නෙ නෑ. ඒ කියන්නේ ‘අනේ, මටත් කවුරුහරි දානයකට ආරාධනා කරනවා නම් හොඳයි’ කියල.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ගෙයක් ඇතුළේ වාඩිවුනු බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ගෙයක් ඇතුළේ දන් වැළඳූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කාන්තාවකගේ සිරුරක ඉතා කුඩා ලකුණක්වත් මතක තබාගත් බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කාන්තාවකට අඩුගණනේ සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට භික්ෂුණී ආරාමයකට ගිය බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට භික්ෂුණියකට දහම් දෙසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට උපසම්පදාවකට පුහුණු වන සික්ඛමානාවකට දහම් දෙසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට සාමණේරියකට දහම් දෙසූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කිසිවෙකු පැවිදි කරවූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියට යි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කිසිවෙකු හෝ උපසම්පදා කළ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට කිසිවෙකුට හෝ මාගේ ගුරු ඇසුරේ සිටින්නට අවසර දුන් බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට සාමණේර කෙනෙකු ලවා උපස්ථාන කරගත් බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ගිනිහල් ගෙයි ස්නානය කළ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට නාන සුණු ඇඟෙහි ගා වතුර නෑ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට සබ්‍රහ්මචාරීන් වහන්සේලා ලවා අත්පා මැඩීම් කරගත් බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට අඩුගණනේ ගවදෙනක ගේ තනබුරුල්ලෙන් කිරි ස්වල්පයක් දෝනා වෙලාවක තරමේවත් අසනීප ගතියක් උපන් විරූ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට අඩු ගණනේ බෙහෙතක් වශයෙන් අරළු කැබැල්ලක්වත් පාවිච්චි කළ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ඇඳක පිට හාන්සි කළ බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට නිදාගත් බවක් මම දන්නෙ නෑ.” “ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ ….(පෙ)…. ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මගේ පැවිදි ජීවිතයට අසූ වසරක් වෙනවා. මෙතෙක් කලකට ගමක් අසල සේනාසනයක වස් වැසූ බවක් මම දන්නෙ නෑ.”
“ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ අසූ වසරක පැවිදි ජීවිතයක් තුළදී ගමක් අසල සේනාසනයක වස් වැසූ බවක් නොදන්නා සේක. මෙය ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.”
“ආයුෂ්මත, මං පැවිදි වෙලා රට වැසියා දුන් පිණ්ඩපාතය කෙලෙස් සහිතව වැළඳුවේ සතියයි. අට වෙනි දවසේ මං අරහත්වය සාක්ෂාත් කළා.”
“ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ රට වැසියා දුන් පිණ්ඩපාතය කෙලෙස් සහිතව සතියක් පමණක් වැළඳූ සේක. අටවෙනි දවසෙහි අරහත්වයට පත් වූ සේක. මෙයත් ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයක් හැටියටයි අපි දරන්නේ.
ආයුෂ්මත් බක්කුලයන් වහන්ස, මේ බුද්ධ ශාසනයෙහි මටද පැවිදි බව ලැබේවා! උපසම්පදාව ලැබේවා!”
අචේල කස්සප ද මේ බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ද ලැබුවා. උපසම්පදාව ලැබූ නොබෝ කලකින් ආයුෂ්මත් කස්සපයන් වහන්සේ තනිවුනා. හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. දහමට දිවි පුදා ධර්මයෙහි හැසිරුනා. කුල පුත්‍රයෙක් යම් උතුම් අර්ථයක් පිණිස ගිහි ජීවිතය අත්හැර බුදුසසුනෙහි පැවිදි බව ලබනවා නම්, නිවන් මග බඹසර කෙලවර වන ඒ උතුම් අරහත්වය මෙලොවදීම තමන්ගේම විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරගෙන එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. නිවන් පිණිස කළ යුතු වෙනත් දෙයක් නැතැ’යි මැනවින් දැනගත්තා. ආයුෂ්මත් කස්සපයන් වහන්සේ ද රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත්වුනා.
ඉතින් පසු කාලෙකදී ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ දොර යතුරත් අරගෙන විහාරයෙන් විහාරයට වැඩම කරලා මෙහෙම කිව්වා. ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එළියට වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එළියට වඩින්න. අද මගේ පරිනිර්වාණය සිදුවෙනවා.’
ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ දොර යතුර ගෙන විහාරයෙන් විහාරයට වැඩම කොට මෙබඳු යම් ප්‍රකාශයක් පැවසූ සේක් ද, ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එළියට වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එළියට වඩින්න. අද මගේ පරිනිර්වාණය සිදුවෙනවා’ කියල. අපි මෙය ද ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් ලෙස දරමු.
ඉතින් ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ භික්ෂුසංඝයා මැද වාඩි වී සිටිය දී ම පිරිනිවන් පෑ සේක.
ආයුෂ්මත් බක්කුලයන් වහන්සේ භික්ෂුසංඝයා මැද වාඩි වී වැඩසිටියදී ම පිරිනිවන් පෑ සේක යන යමක් ඇද්ද, අපි මෙය ද ආයුෂ්මත් බක්කුලයන් වහන්සේගේ ආශ්චර්ය වූත්, අද්භූත වූත් ධර්මයක් ලෙස දරමු.
සාදු! සාදු!! සාදු!!!
බක්කුලයන් වහන්සේ වදාළ දෙසුම නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M