මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. ඒ භික්‍ෂූන් වහන්සේලත් “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. දෙවියන්ගේත් අසුරයන් ගේත් යුද්ධයක් ඇතිවෙන විදිහේ රැස්වීමක් ඇති වුනා. පින්වත් මහණෙනි, එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසාවේ දෙවියන් ඇමතුවා.
‘පින්වත්නි, ඉදින් යුද්ධයට ගියාට පස්සෙ දෙවියන් තුළ භයක් හරි, තැති ගැනීමක් හරි, ලොමු දහැගැනීමක් හරි ඇති වුනොත්, අන්න ඒ වෙලාවට මගේ මුදුන් කොඩිය දෙස හොඳට ඇස් ඇරල බලන්න ඕන. මගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලන කොට, ඔබ තුළ කලින් යම්කිසි භයක් හරි, තැති ගැනීමක් හරි, ලොමු දැහැගැනීමක් හරි තිබුනා නම්, ඒක නැතිවෙලා යාවි.
යම් හෙයකින් මගේ මුදුන් කොඩිය දිහා බලන්න බැරි වුනොත්, එතකොට ප්‍රජාපති දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳට ඇස් ඇරල බලන්න ඕන. ප්‍රජාපතී දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලන කොට, ඔබ තුළ කලින් යම්කිසි භයක් හරි, තැති ගැනීමක් හරි, ලොමුදහගැනීමක් හරි තිබුන නම්, ඒක නැතිවෙලා යාවි.
යම් හෙයකින් ප්‍රජාපතී දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා බලන්න බැරි වුනොත් එතකොට වරුණ දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳට ඇස් ඇරල බලන්න ඕන. වරුණ දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලන කොට, ඔබ තුළ කලින් යම්කිසි භයක් හරි, තැති ගැනීමක් හරි, ලොමු දහගැනීමක් හරි තිබුනා නම්, ඒක නැතිවෙලා යාවි.
යම් හෙයකින් වරුණ දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා බලන්න බැරි වුනොත්, එතකොට ඊසාන දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳට ඇස් ඇරල බලන්න ඕන. ඊසාන දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බලන කොට, ඔබ තුළ කලින් යම්කිසි භයක් හරි, තැති ගැනීමක් හරි, ලොමු දහ ගැනීමක් හරි තිබුනා නම්, ඒක නැතිවෙලා යාවි’ කියලා.
පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, ප්‍රජාපතී දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, වරුණ දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, ඊසාන දිව්‍යරාජයාගේ මුදුන් කොඩිය දිහා හොඳින් බැලීමෙන් හරි, අර ඇති වෙන්න තිබිච්ච භය, තැති ගැනීම, ලොමු දහ ගැනීම වැනි දේවල් නැතිවෙලා යන්නත් පුළුවනි, නැති නොවෙන්නත් පුළුවනි. මොකක්ද ඒකට හේතුව?
පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දේවේන්ද්‍රයා රාගය දුරු නොකළ කෙනෙක්. ද්වේෂය දුරු නොකළ කෙනෙක්. මෝහය දුරු නොකළ කෙනෙක්. බිය වන කෙනෙක්. තැති ගන්නා සුළු කෙනෙක්. පළායන සුළු කෙනෙක්.
පින්වත් මහණෙනි, මමත් ඔබට මෙහෙම කියනවා. පින්වත් මහණෙනි, අරණ්‍යයකට ගියාම හරි, රුක් සෙවනකට ගියාම හරි, පාළු තැනකට ගියාම හරි, යම් හෙයකින් ඔබට බියක් වේවා, තැතිගැනීමක් වේවා, ලොමු දහගැනීමක් වේවා, හටගත්තොත්, අන්න ඒ වෙලාවට මා ගැනමයි සිහිකරන්න ඕන. ‘මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවත් වන සේක’ කියලා. එතකොට පින්වත් මහණෙනි, මං ගැන සිහිකරන ඔබට භයක් හරි, තැතිගැනීමක් හරි, ලොමු දහගැනීමක් හරි ඇතිවෙන්න තියෙනවා නම්, ඒක නැතිවෙලා යනවා.
ඉතින් ඔබට මං ගැන සිහිකරගන්න බැරි වුනොත් එතකොට ධර්මය ගැන සිහිකරන්න ඕන. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාළ නිසා, ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, බුද්ධිමත් දෙවිමිනිසුන් විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ යුතුයි’ කියලා. එතකොට පින්වත් මහණෙනි, ධර්මය ගැන සිහිකරන ඔබට ඇතිවෙන්න තිබිච්ච යම්කිසි භයක් හරි, තැතිගැනීමක් හරි, ලොමු දහගැනීමක් හරි තියෙනවා නම්, ඒක නැතිවෙලා යනවා.
ඉතින් ධර්මය සිහිකරගන්න බැරි වුනොත් එතකොට මාර්ගඵලලාභී සඟ පිරිස ගැනත් සිහිකරන්න ඕන. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස උජුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස ඤායපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස සාමීචිපටිපන්නයි. මාර්ග ඵලලාභී යුගල වශයෙන් උතුම් පුරුෂ යුගල හතරක් වෙනවා. මාර්ගයේ ගමන් කරන කෙනා, ඵලයට පත්වුන කෙනා වශයෙන් පුද්ගලයන් අට දෙනෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඟ පිරිස දුර සිට ගෙනවුත් දැන්පැන් පිළිගැන්වීමට සුදුසුයි. ආගන්තුක සත්කාරවලට සුදුසුයි. පින් සලකා දන්පැන් දෙන්න සුදුසුයි. වැඳුම්පිදුම් කිරීමට සුදුසුයි. දෙවිමිනිස් ලෝකයාගේ උත්තරීතර පින්කෙත’ කියලා. එතකොට පින්වත් මහණෙනි, මගඵලලාභී ශ්‍රාවක පිරිස ගැන සිහි කරන කොට, කලින් ඇතිවෙන්න තිබිච්ච භයක් හරි, තැති ගැනීමක් හරි, ලොමු දහගැනීමක් හරි තියෙනවා නම්, ඒක නැතිවෙලා යනවා.
ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, තථාගත වූ, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියල තියෙන්නෙ රාගයෙන් තොර කෙනෙක්. ද්වේෂයෙන් තොර කෙනෙක්. මෝහයෙන් තොර කෙනෙක්. බිය නොවන කෙනෙක්. තැති නොගන්න කෙනෙක්. කම්පා නොවන කෙනෙක්. පලා නොයන කෙනෙක්.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාළාට පස්සෙ නැවත මේ ගාථාවනුත් වදාළා.
“පින්වත් මහණෙනි, වනාන්තරේක හරි, රුක් සෙවනක හරි, පාළු තැනක හරි, ඔබ ඉන්න කොට, බුදු සමිඳුන්ව සිහි කරන්න. එතකොට, ඔබට බියක් ඇතිවෙන්නෙ නෑ.
ඉතින්, ලෝක නායක වූ, නර ශ්‍රේෂ්ඨ වූ, බුඳු සමිඳුන්ව සිහිකරගන්න බැරි වුනොත්, මනා කොට දෙසන ලද ඒ අමා නිවනට පමුණුවන සද්ධර්මය සිහි කරන්න ඕන.
ඉතින්, මනා කොට දේශනා කරන ලද ඒ අමා නිවනට පමුණුවන ධර්මය සිහිකරගන්න බැරි වුනොත්, එතකොට උත්තරීතර පින්කෙත වන, මගඵලලාභී ආර්ය සඟ පිරිස සිහිකරන්න ඕන.
ඔය විදිහට පින්වත් මහණෙනි, බුදු සමිඳුන්වත්, ශ්‍රී සද්ධර්මයත්, ශ්‍රාවක සඟ පිරිසත් සිහිකරන කොට, භයක් වත්, තැතිගැනීමක් වත්, ලොමු දහගැනීමක් වත් ඇතිවෙන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M