සැවැත් නුවර ජේතවනාරාමයේදී ……………………..
“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. හොඳ, යහපත් ගුණධර්ම ඇති, සිල්වත්, ගොඩක් ඉසිවරු වනාන්තරේක කුටිවල හිටියා. ඉතින් පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයයි, වේපචිත්ති අසුරේන්‍ද්‍රයයි, අර යහපත් ගුණධර්ම තියෙන සිල්වත් ඉසිවරු ළඟට ගියා.
පින්වත් මහණෙනි, එතකොට වේපචිත්ති අසුරේන්‍ද්‍රයා පොටවල් කීපයක් තියෙන සෙරප්පු දෙකක් දාගෙන, කඩුවත් එල්ලගෙන, කුඩේකුත් ඉහලගෙන, ප්‍රධාන දොරටුවෙන් සෙනසුනට ගියා. ඒ යහපත් ගුණදහම් ඇති සිල්වත් ඉසිවරුන්ට අගෞරව කරලා යන්න ගියා.
එතකොට පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා පොටවල් කීපයක් ඇති සෙරප්පු දෙක ගැලෙව්වා. කඩුව වෙන කෙනෙකුට දුන්නා. කුඩේ අකුලගත්තා. පසු දොරටුවෙන් සෙනසුනට ගියා. ඒ යහපත් ගුණදහම් ඇති සිල්වත් ඉසිවරුන්ගේ පැත්තෙන් හමාගෙන එන යටි හුළඟේ වැඳගෙන, හිටගත්තා.
එතකොට පින්වත් මහණෙනි, ඒ යහපත් ගතිගුණ ඇති සිල්වත් ඉසිවරු ශක්‍ර දේවේන්ද්‍රයාට ගාථාවකින් මෙහෙම කිව්වා.
“නෙත් දහසක් ඇති පින්වත් ශක්‍රය, ඔතනින් අයින් වෙන්න. බොහෝ කලක් ව්‍රත සමාදන් වෙලා ඉන්න ඉසිවරුන්ගේ ශරීරවල ගඳත් එක්කයි ඔය හුළඟ එන්නෙ. දෙව්රජුනි, ඉසිවරුන්ගේ ශරීරවල ගඳ අපවිත්‍රයි නෙව.”
(ශක්‍ර දෙවි) :
“ස්වාමීනි, බොහෝ කළක් ව්‍රත සමාදන් වෙලා ඉන්න, ඉසිවරයන් වහන්සේලාගේ සිරුරු පිසදාගෙන, හමන, සුළඟින්, ඒ ගඳද හමාවා! ඒ සිරුරු ගඳ ලස්සන මල් මාලයක් හිසේ පළඳනවා වගෙයි මං පිළිගන්නෙ. ස්වාමීනි, දෙවිවරු ඔය කාරණයේදී පිළිකුල්ය යන හැඟීම ඇතිකරගන්නෙ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M