මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ පන්සිය නමක් භික්ෂූන් වහන්සේලාද, උපාසකවරු හත්සීයයක්ද, නොයෙක් දහස් ගණන් දෙවියන්ද සමඟ චම්පා නගරයේ ගග්ගරා පොකුණු තෙර වැඩසිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සුන්දර පැහැයෙනුත් ඒ වගේම යසසිනුත් හැමදෙනාම පරදවා බබලන්න පටන් ගත්තා.
ඒ වෙලාවේ ආයුෂ්මත් වංගීසයන්ට මෙහෙම හිතුනා. ‘මේ භාග්‍යවතුන් වහන්සේ පන්සිය නමක් භික්ෂූන් වහන්සේලාද, උපාසකවරු හත්සීයයක්ද, නොයෙක් දහස් ගණන් දෙවියන්ද සමඟ චම්පා නගරයේ ගග්ගරා පොකුණු තෙර වැඩඉන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සුන්දර පැහැයෙනුත් ඒ වගේම යසසිනුත් හැමදෙනාම පරදවා බබලන්න පටන් ගත්තා. ඉතින් මම භාග්‍යවතුන් වහන්සේට සුදුසු ගාථාවකින් ප්‍රශංසා කරන්න ඕන’ කියලා.
ඉතින් ආයුෂ්මත් වංගීසයන් ආසනෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”
“පින්වත් වංගීස, ඔබට එය වැටහේවා!” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
එතකොට ආයුෂ්මත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථාවකින් ප්‍රශංසා කළා.
“වළාකුළු පහව ගිය අහසේ නැගී දිළෙන පුන් සඳක් වගේ, නිර්මලව රැස් විහිදා බබලන හිරු මඬලක් වගේ, මහා මුනිරජාණන් වූ අංගීරස බුදු සමිඳාණෙනි, ඔබවහන්සේත් අන්න ඒ වගේමයි. සියලු ලොව අභිබවා යසසින් බබලනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M