මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමියක් වූ වේළුවනාරාමයේ. එදා ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් සෑහෙන කාලෙකට පස්සේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස සිරසින් වැඳ වැටුනා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් මුවින් සිඹින්නට පටන් ගත්තා. දෑත් වලින් පිරිමදින්නට පටන් ගත්තා. තමන්ගේ නම කියන්නට පටන් ගත්තා. ‘භාග්‍යවතුන් වහන්ස, මම තමයි කොණ්ඩඤ්ඤ. සුගතයන් වහන්ස, මම තමයි කොණ්ඩඤ්ඤ’ කියලා.
එතකොට ආයුෂ්මත් වංගීසයන්ට මෙහෙම හිතුනා. මේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤයන් වහන්සේ සෑහෙන කාලෙකිනුයි භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවේ. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස සිරසින් වැඳ වැටුනා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් මුවින් සිඹින්නට පටන් ගත්තා. දෑතින් පිරිමදින්නට පටන් ගත්තා. නමත් කියනවා. ‘භාග්‍යවතුන් වහන්ස, මම තමයි කොණ්ඩඤ්ඤ. සුගතයන් වහන්ස, මම තමයි කොණ්ඩඤ්ඤ’ කියලා. ඉතින් මමත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථා වලින් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන.
ඊට පස්සේ ආයුෂ්මත් වංගීසයන් වහන්සේ ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරලා පොරවගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා’ කියලා.
‘පින්වත් වංගීස, ඔබට එය වැටහේවා!’ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
ඉතින් ආයුෂ්ත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථා වලින් ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට ප්‍රශංසා කළා.
“ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. බලවත් වීරියකින් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. නිතරම චිත්ත විවේකය ඇති ධ්‍යාන සමාපත්ති සැප ලබන කෙනෙක්.
ශාස්තෘ ශාසනය අනුගමනය කරන ශ්‍රාවකයෙක් විසින් යම් ශ්‍රේෂ්ඨ දෙයක් ලැබිය යුතු නම්, අප්‍රමාදීව දහම තුළ හික්මෙන කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ හැම දෙයක්ම ලබාගත්තා.
කොණ්ඩඤ්ඤයන් වහන්සේ මහානුභාව සම්පන්නයි. ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. අනුන්ගේ සිත් දකින්න හැබෑම දක්ෂයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තමයි ශාස්තෘන් වහන්සේගේ සිරිපා වඳින්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M