සැවැත් නුවරදී ………………
පින්වත් මහණෙනි, ලෝකයේ හටගැනීම ගැනත්, ලෝකයේ නැතිවීම ගැනත් මා ඔබට දේශනා කරන්නම්. එය හොඳින් අසා ගන්න. ….(පෙ)….
පින්වත් මහණෙනි, ලෝකයේ හටගැනීම කියන්නේ මොකක්ද? ඇසත්, රූපත් හේතු කොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ. උපාදාන හේතු කොට ගෙන භවය ඇති වේ. භවය හේතු කොට ගෙන ඉපදීම ඇති වේ. ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නවා. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, ලෝකයේ හටගැනීම කියන්නේ මේකටයි.
කනත්, ශබ්දයත් හේතු කොට ගෙන ….(පෙ)…. නාසයත්, ගඳ සුවඳත් හේතු කොට ගෙන ….(පෙ)…. දිවත්, රසයත් හේතු කොට ගෙන ….(පෙ)…. කයත්, පහසත් හේතු කොට ගෙන ….(පෙ)…. මනසත්, අරමුණුත් හේතු කොට ගෙන මනසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ. උපාදාන හේතු කොට ගෙන භවය ඇති වේ. භවය හේතු කොට ගෙන ඉපදීම ඇති වේ. ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නවා. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, ලෝකයේ හටගැනීම කියන්නේ මේකටයි.
පින්වත් මහණෙනි, ලෝකයේ නැතිවීම කියන්නේ මොකක්ද? ඇසත්, රූපත් හේතු කොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. ඒ තණ්හාව සහමුලින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. පින්වත් මහණෙනි, ලෝකයේ නැතිවීම කියන්නේ මේකටයි.
කනත්, ශබ්දයත් හේතු කොට ගෙන ….(පෙ)…. නාසයත්, ගඳ සුවඳත් හේතු කොට ගෙන ….(පෙ)…. දිවත්, රසයත් හේතු කොට ගෙන ….(පෙ)…. කයත්, පහසත් හේතු කොට ගෙන ….(පෙ)…. මනසත්, අරමුණුත් හේතු කොට ගෙන මනසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. ඒ තණ්හාව සහමුලින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙලා යනවා. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. පින්වත් මහණෙනි, ලෝකයේ නැතිවීම කියන්නේ මේකටයි.
සාදු! සාදු!! සාදු!!!
ලෝක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M