සැවැත් නුවරදී ………………
පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් හේතු වෙන මේ ආහාර හතරකි. ඒ ආහාර හතර මොනවාද?ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරයක් තියෙනවා. ස්පර්ශ නම් වූ දෙවෙනි ආහාරයක් තියෙනවා. මනෝසංචේතනාව කියලා තුන්වෙනි ආහාරයක් තියෙනවා. විඤ්ඤාණය තමයි හතරවෙනි ආහාරය. පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර හතර හේතු වෙනවා.
පින්වත් මහණෙනි, කබලිංකාර ආහාරය ගැන දැනගත යුත්තේ කොයි ආකාරයෙන්ද? පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අඹුසැමි යුවලක් ඉන්නවා කියල හිතමු. ඉතින් මේ යුවල කෑමබීම ස්වල්පයක් අරගෙන කාන්තාර මගකට බැසගන්නවා. එයාලට ඉතා ප්‍රියමනාප එකම එක පුතෙක් ඉන්නවා. ඉතින් පින්වත් මහණෙනි, කාන්තාර මගට බැසගත් මේ අඹුසැමි යුවල, අරගෙන ආපු අර කෑමබීම ස්වල්පය ඉවර වෙලා ගියා. නමුත් තවම කාන්තාරයෙන් එතෙර වෙලත් නෑ.
එතකොට පින්වත් මහණෙනි, ඔය අඹුසැමි යුවල මෙහෙම කතා වුණා. ‘අපි අරගෙන ආවේ කෑමබීම ස්වල්පයයි. දැන් ඒවා ඉවර වුණා. තව අපට කාන්තාරයෙන් එතෙර නොවුණ මග ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රියමනාප වූ එකම පුතාව මරමු. මසුයි, කටුයි වෙන් කරලා හිට, ඒ පුත්‍ර මාංශ කකා ඉතිරි වෙලා තියෙන කාන්තාර ගමනින් එතෙර වෙන එකයි හොඳ. අනේ, අපි තුන් දෙනාවම මැරිලා යන්න එපා!’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඒ අඹු සැමි යුවල තමන්ට මේ සා ප්‍රියමනාප වූ පුතාව මරලා මසුයි, කටුයි වෙන් කරලා ඒ පුත්‍ර මාංශය කමින් ඉතිරි වෙලා තිබුණු කාන්තාර ගමනින් එතෙර වුණා. ඔවුන් පුත්‍ර මාංශය කෑවා තමයි. නමුත් ‘අයියෝ! එකම පුතා කෝ? අයියෝ! එකම පුතා කෝ?’ කිය කියා පපුවට ගහ ගත්තා.
පින්වත් මහණෙනි, ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? අර අඹු සැමි යුවල ඇඟේ පතේ හයිය දියුණු කරන්න අර ආහාරය ගනීවිද? ක්‍රීඩා පිණිස අර ආහාරය ගනීවිද? ඇඟපත සරසන්නට අර ආහාරය ගනීවිද? ලස්සන වෙන්න හිතාගෙන අර ආහාරය ගනීවිද? “ස්වාමීනී, ඒක වෙන්නෙ නෑ මයි.”
පින්වත් මහණෙනි, ඒ දෙන්නා කාන්තාරයෙන් එතෙර වීම පිණිස විතරක් නොවෙයිද ඒ ආහාරය ගත්තේ? “එසේය, ස්වාමීනී”
පින්වත් මහණෙනි, කබලිංකාර ආහාරය ගැන දැනගත යුත්තේ ඔන්න ඔය විදිහටම කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, කබලංකාර ආහාර ගැන සම්පූර්ණයෙන් අවබෝධ කළොත්, පංච කාම ගුණ පිළිබඳ තිබෙන රාගය සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා. පංච කාම ගුණ පිළිබඳ තිබෙන රාගය සම්පූර්ණයෙන් අවබෝධ වුණොත්, ආර්ය ශ්‍රාවකයා මේ කාම ලෝකයට ආයෙමත් එන යම් සංයෝජනයක් තිබුණා නම් ඒ සංයෝජනය නැති වෙලා යනවා.
පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන දැනගත යුත්තේ කොයි විදිහටද? පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. හම ගලවා දැමූ ගවදෙනක් ඉන්නවා කියලා හිතමු. ඉතින් මේ ගවදෙන බිත්තියකට හේත්තු වෙලා ඉන්නවා නම්, ඒ බිත්තිය ඇසුරු කොට ඉන්නා සත්තු ඒ ගවදෙනව කන්න පටන් ගන්නවා. ගහකට හේත්තු වෙලා නම් ඉන්නේ ගහ ඇසුරු කොට ඉන්නා සත්තුත් ඒ ගවදෙනව කන්න පටන් ගන්නවා. වතුරක බැහැගෙන නම් ඉන්නේ, ඒ වතුර ඇසුරු කොට ඉන්නා සත්තුත් ඒ ගවදෙනව කන්න පටන් ගන්නවා. එළිමහනක නම් ඉන්නේ, එළිමහනේ ඉන්න සත්තුත් ඒ ගවදෙනව කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, හම ගලවපු ගවදෙන ඇසුරු කරන්නේ යම් යම් දෙයක්ද ඒ ඒ ආශ්‍රිතව ඉන්න සත්තු ඒ ගවදෙනව කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන දැන ගත යුත්තේ ඔන්න ඔය විදිහටයි කියලා මං කියන්නේ.
පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත්, ත්‍රිවිධ වේදනාවම සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා. ත්‍රිවිධ වේදනාව සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත් ඒ ආර්ය ශ්‍රාවකයා හට නිවන පිණිස අමුතුවෙන් කළ යුතු කිසිවක් නැහැ කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, මනෝ සංචේතනා ආහාරය ගැන දැනගත යුත්තේ කොයි විදිහටද? පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පින්වත් මහණෙනි, පුරුෂයෙකුගේ ප්‍රමාණයට වඩා ගැඹුරු ඇති ගිනි සිළු නැති දුම් නැති ගිනි අඟුරු වළක් තියෙනවා කියලා හිතමු. ඉතින් මෙතැනට පුරුෂයෙක් එනවා. ඔහු ජීවත් වෙන්න කැමතියි. මැරෙන්න කැමති නෑ. සැපයටයි කැමති. දුක පිළිකුල් කරනවා. ඉතින් ඔතැනට ශක්ති සම්පන්න පුරුෂයො දෙන්නෙක් ඇවිදින් අර පුද්ගලයාව වෙන වෙනම අතින් ඇදගෙන ඒ අඟුරු වළට ඇදගෙන යනවා. පින්වත් මහණෙනි, එතකොට අර පුද්ගලයා තුළ තියෙන්නේ ඒ අඟුරු වලෙන් ඈත්වෙන අදහසමයි. දුරුවෙන පැතුමමයි. දුරුවෙන අපේක්ෂාවමයි. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අර පුද්ගලයා දන්නවා මං මේ ගිනි අඟුරු වළට වැටුණොත් එක්කො මං මැරිලා යාවි. එක්කො මට මාරාන්තික දුක් වේදනා විඳ විඳ ඉන්න වේවි. පින්වත් මහණෙනි, මනෝසංචේතනා ආහාරය ගැන දැනගත යුත්තේ ඔන්න ඔය විදිහට කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, මනෝසංචේතනා ආහාරය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් ත්‍රිවිධ තණ්හාව සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා. ත්‍රිවිධ තණ්හාව සම්පූර්ණයෙන් අවබෝධ වුණොත්, ඒ ආර්ය ශ්‍රාවකයා හට නිවන පිණිස අමුතුවෙන් කළ යුතු කිසිදෙයක් නැහැ කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, විඤ්ඤාණ ආහාරය ගැන දැන ගත යුත්තේ කොයි විදිහටද? පින්වත් මහණෙනි, ඒක මේ විදිහේ දෙයක්. වරදකට අහුවෙච්ච හොරෙක් ඉන්නවා කියලා හිතමු. ඉතින් මේ හොරාව රජතුමාට පෙන්වනවා. ‘දේවයන් වහන්ස, මෙන්න වරදට අහුවෙච්ච ඔබවහන්සේ හොයන හොරා! මොහුට යම් දඬුවමක් දෙන්න කැමති නම් එය නියම කළ මැනැව’ එතකොට රජතුමා ඔහු ගැන මෙහෙම කියනවා. ‘භවත්නි, යව්! මේ පුරුෂයාට උදේ වරුවේ සැත් පහරවල් සියයකින් වධ දෙවු!’
ඉතින් දවල් කාලයේ ඒ රජතුමා මෙහෙම අහනවා, ‘එම්බා මිනිසුනි, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, හොරා තාම ජීවත් වෙනවා.’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත්නි, යවු! ඒ හොරාට දහවලටත් සැත් පහරවල් සියයකින් වධ දෙවු!’ ඉතින් සවස් කාලයේ ඒ රජතුමා මෙහෙම අහනවා, ‘එම්බා මිනිසුනි, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, හොරා තාම ජීවත් වෙනවා.’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත්නි, යවු! ඒ හොරාට සවසටත් සැත් පහරවල් සියයකින් වධ දෙවු!’ කියලා.
පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඒ හොරා දවස මුළුල්ලේ සැත් පහරවල් තුන් සියයකින් වධ විඳිද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් වින්ඳේ නැද්ද? “ස්වාමීනී, එක සැත් පහරකින් වධ විඳින කොට ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳින එකේ සැත් පහරවල් තුන්සියයකින් වධ විඳින්නට ගියොත් ඒ හේතුවෙන් විඳින දුක් දොම්නස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ.”
පින්වත් මහණෙනි, විඤ්ඤාණ ආහාරය ගැන දැන ගත යුත්තේ ඔය විදිහට කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, විඤ්ඤාණ ආහාරය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් නාමරූප සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා. නාමරූප සම්පූර්ණයෙන් අවබෝධ වුණොත්, ඒ ආර්ය ශ්‍රාවකයා හට නිවන පිණිස අමුතුවෙන් කළ යුතු කිසිදෙයක් නැහැ කියලයි මං කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
පුත්තමංස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M