සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න. ඔවුන් ගෙන් කය ඉවත් කර ගෙන ම, ඔවුන්ගෙන් සිත ඉවත් කර ගෙන (ආගන්තුකයෙක් වගේ) ම යන්න. හැම තිස්සේ ම අළුත් කෙනෙක් වගේ යන්න. දායකයින් එක්ක අනවශ්‍ය කුලුපගකම් නැතුව යන්න.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ගරා වැටුණු ලිඳක් ලඟට යනවා. එහෙම නැත්නම් භයානක කඳු ප්‍රපාතයක් ලඟට යනවා. එක්කෝ කැඩීගිය ගං ඉවුරක් ලඟට යනවා කියල හිතමු. ඔහු කය ඈත් කර ගෙන ම යි සිත ඈත් කර ගෙන ම යි එබී බලන්නේ. අන්න ඒ වගේ පින්වත් මහණෙනි, ඔබත් දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න. ඔවුන් ගෙන් කය ඉවත් කර ගෙන ම, ඔවුන් ගෙන් සිත ඉවත් කර ගෙන (ආගන්තුකයෙක් වගේ) ම යන්න. හැම තිස්සේ ම අළුත් කෙනෙක් වගේ යන්න. දායකයින් එක්ක අනවශ්‍ය කුලුපගකම් නැතුව යන්න.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ මොකද්ද හිතන්නේ? කොයි වගේ භික්ෂුවක් ද දායක ගෙවල්වලට යන්න සුදුසු වන්නේ?“
“ස්වාමීනි, අප ගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ ම යි මුල් කර ගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ම යි ප්‍රධාන කර ගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ම යි පිළිසරණ කර ගෙන තියෙන්නේ. ස්වාමීනි, ඔය වදාළ කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට ම වැටගෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා ගෙනයි භික්ෂූන් මතක තබා ගන්නේ.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ අවකාශයෙහි තම ශ්‍රී හස්තය ඔබ මොබ සොළොවා වදාළා. “පින්වත් මහණෙනි, මෙන්න මේ වගේ. දැන් මේ අත, අවකාශයේ ඇලෙන්නේ නෑ. අවකාශය අල්ල ගන්නේ නෑ. අවකාශයට බැඳෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහට ම දායක ගෙවල්වලට පිවිසෙන යම් භික්ෂුවක ගේ සිත ඇලෙන්නේ නැත්නම්, ගැලෙන්නේ නැත්නම්, බැඳෙන්නේ නැත්නම් ‘පින් ලබනු කැමති උදවිය පින් ලබා ගනිත්වා! පින් කරනු කැමති උදවිය පින් කර ගනිත්වා!’ කියල. තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. ඔය විදිහට අනුන් ගේ ලාභයේ දී ත් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. පින්වත් මහණෙනි, අන්න එබඳු භික්ෂුවක් තමයි දායක ගෙවල්වලට යන්ට සුදුස්සෙක් වන්නේ.
පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට පිවිසෙන කස්සප ගේ සිත ඒ දායකයින් ගැන ඇලෙන්නේ නෑ. ගැලෙන්නේ නෑ. බැඳෙන්නේ නෑ. ‘පින් ලබනු කැමති උදවිය පින් ලබා ගනිත්වා! පින් කරනු කැමති උදවිය පින් කර ගනිත්වා!’ කියල තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. ඔය විදිහට අනුන් ගේ ලාභයේ දී ත් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. පින්වත් මහණෙනි, අන්න එබඳු භික්ෂුවක් තමයි දායක ගෙවල්වලට යන්න සුදුස්සෙක් වන්නේ.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් ද හිතන්නේ? කෙබඳු භික්ෂුව ගේ ධර්ම දේශනාව ද අපිරිසිදු වන්නේ? කෙබඳු භික්ෂුව ගේ ධර්ම දේශනාව ද පිරිසිදු වන්නේ?”
“ස්වාමීනි, අප ගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ ම යි මුල් කර ගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ම යි ප්‍රධාන කර ගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ම යි පිළිසරණ කර ගෙන තියෙන්නේ. ස්වාමීනි, ඔය වදාළ කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා ගෙන යි භික්ෂුන් මතක තබා ගන්නේ.!
“පින්වත් මහණෙනි, එහෙනම් හොඳින් අහගෙන ඉන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.” “එසේ ය ස්වාමීනි” කියල ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්ම දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම්, ‘අනේ මගේ මේ ධර්මය මේ උදවිය අහනවා නම්! අහල මං ගැන පහදිනවා නම්! පැහැදිලා ඒ පැහැදුණු බව මට කියනවා නම්!’ කියල. පින්වත් මහණෙනි, අන්න එබඳු සිත් ඇති භික්ෂුව ගේ ධර්ම දේශනාව අපිරිසිදු යි.
පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්ම දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම්, එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනා කොට දේශනා කරලයි තියෙන්නේ (ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ). මේ ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කරන්න පුළුවන් (සන්දිට්ඨිකෝ). ඕනෑ ම කාලයක අවබෝධ කරන්න පුළුවන් (අකාලිකෝ). ඇවිත් බලන්න කියා පෙන්වන්න පුළුවන් (ඒහිපස්සිකෝ). තමා තුළට පමුණුවා ගත යුතු දෙයක් (ඕපනයිකෝ). බුද්ධිමතුන් විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කර ගත යුතු දෙයක් (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී). ඇත්තෙන් ම මාගේ ධර්මය මේ උදවිය අසනවා නම්, අසාගත්තා වූ ධර්මය අවබෝධ කරගන්නවා නම්, අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදිනවා නම් කොයි තරම් හොඳ ද’ කියල ධර්ම සුධර්මත්වය හේතු කොට ගෙන ධර්මය දේශනා කරනවා නම්, කරුණාව හේතු කොට ගෙන ධර්මය දේශනා කරනවා නම්, දයාව හේතු කොටගෙන ධර්මය දේශනා කරනවා නම්, අනුකම්පාව හේතු කොට ගෙන ධර්මය දේශනා කරනවා නම්, පින්වත් මහණෙනි, අන්න එබඳු භික්ෂුව ගේ ධර්ම දේශනාව නම් පිරිසිදු යි.
පින්වත් මහණෙනි, මේ කස්සප අනුන්ට ධර්ම දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත යි, එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනා කොට දේශනා කරලයි තියෙන්නේ (ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ). මේ ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කරන්න පුළුවන් (සන්දිට්ඨිකෝ). ඕනෑ ම කාලයක අවබෝධ කරන්න පුළුවන් (අකාලිකෝ). ඇවිත් බලන්න කියා පෙන්වන්න පුළුවන් (ඒහි පස්සිකෝ). තමා තුළට පමුණුවා ගත යුතු දෙයක් (ඕපනයිකෝ). බුද්ධිමතුන් විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරගත යුතු දෙයක් (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී). ඇත්තෙන්ම මාගේ ධර්මය මේ උදවිය අසනවා නම්, අසාගත්තා වූ ධර්මය අවබෝධ කරගන්නවා නම්, අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදිනවා නම් කොයිතරම් හොඳ ද’ කියල ධර්ම සුධර්මත්වය හේතු කොට ගෙනයි ධර්මය දේශනා කරන්නේ. කරුණාව හේතු කොට ගෙනයි ධර්මය දේශනා කරන්නේ. දයාව හේතු කොට ගෙනයි ධර්මය දේශනා කරන්නේ. අනුකම්පාව හේතු කොට ගෙනයි ධර්මය දේශනා කරන්නේ.
පින්වත් මහණෙනි, එක්කො මම අවවාද කරන්නම්. එක්කො කස්සපයන් අවවාද කරාවි. ඒ අවවාද ලබන අය කස්සප වගේ වෙනවා කියලයි ඔබ විසින් පිළිපැදිය යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
චන්දූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M