398. සැවැත් නුවරදී ……………
ඒ දිනවල එක්තරා නවක භික්ෂුවක් පිණ්ඩපාතෙන් පස්සේ සවස් කාලයේ කුටියකට පිවිසිලා බාහිර වැඩකට උත්සාහයක් නැතිව නිශ්ශබ්දව යම්කිසි කල්පනාවක යෙදිල ඉන්නවා. නමුත් ඒ සිවුරු මහන කාලයයි. ඒ භික්ෂුව සිවුරු මහන භික්ෂුන්ට වතාවත් නොකරයි. ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, මෙහි එක්තරා නවක භික්ෂුවක් පිණ්ඩපාතෙන් පස්සේ සවස් කාලයේ කුටියකට පිවිසිලා බාහිර වැඩකට උත්සාහයක් නැතිව නිශ්ශබ්දව යම්කිසි කල්පනාවක යෙදිල ඉන්නවා. නමුත් මේ සිවුරු මහන කාලයයි. මේ භික්ෂුව සිවුරු මහන භික්ෂූන්ට වතාවත් කරන්නේ නෑ.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා. “පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. මගේ වචනයෙන් ඒ භික්ෂුව අමතන්න. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඔබට ශාස්තෘන් වහන්සේ කතා කරනවා” කියල. “එසේ ය ස්වාමීනි” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන් ඒ භික්ෂුව අර භික්ෂුව ලඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඔබට ශාස්තෘන් වහන්සේ කතා කරනවා” කියල. “එසේ ය ප්‍රිය ආයුෂ්මතුනි” කියල අර භික්ෂුවත් ඒ භික්ෂුවට පිළිතුරු දීල භාග්‍යවතුන් වහන්සේ ලඟට ගියා. ගිහින් …. (පෙ) …. එකත්පස්ව හිටිය ඒ භික්ෂුව ගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අසා වදාළා. “පින්වත් භික්ෂුව, මේක ඇත්තක්ද? ඔබ පිණ්ඩපාතෙන් පස්සේ සවස් වරුවේ කුටියට වෙලා උත්සාහ රහිතව නිශ්ශබ්දව කල්පනා කර කර ඉන්නවා කියන්නේ. මේ සිවුරු මහන කාලෙ භික්ෂූන්ට වතාවත් කරන්නේ නෑ කියන්නේ?” “ස්වාමීනි, මමත් තමන් ගේ කටයුතු කරමිනුයි ඉන්නේ.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුව ගේ සිතේ වූ කල්පනාව තම සිතින් පිරිසිඳ දැනගෙන භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, ඔබ මේ භික්ෂුවට කිසි වරදක් කියන්නට එපා. පින්වත් මහණෙනි, මේ භික්ෂුව හොඳින් හිත දියුණු කර ගෙන මේ ජීවිතයේ දීම ධ්‍යාන හතර සුව සේම ලබාගෙන පහසුවෙන් ලබා ගෙන යහපත් සේ ලබා ගෙන ඉන්න කෙනෙක්. යම්කිසි අරමුණක් පිණිස නම් කුල පුත්‍රයන් ගිහි ජීවිතය අත්හැරල මේ සාසනයේ මනා කොට පැවිදි වෙන්නෙ, අන්න ඒ අරමුණ වන මේ බඹසර ජීවිතයේ සම්පූර්ණත්වය වන ඒ අනුත්තර වූ අරහත්වය තමන් ගේම දියුණු කරපු ප්‍රඥාාවෙන් සාක්ෂාත් කර ගෙන එයට පැමිණිලා වාසය කරනවා.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් ද වදාළා.
සියලු කෙලෙස් ගැටවලින් තමාව නිදහස් කරන මේ නිවන සාක්ෂාත් කිරීම නම් බුරුල් වෙච්ච වීර්යයකින් කරන්නට බෑ. ස්වල්ප වූ ශක්තියකින් නිවන සාක්ෂාත් කරන්නට බෑ.
මේ භික්ෂුව ඉතාමත් තරුණයි. නමුත් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක. සේනා සහිත මාරයාව පරාජය කරල අන්තිම ශරීරය දරාගෙනයි ඉන්නේ.
සාදු! සාදු!! සාදු!!!
නව භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M